ශ්‍රී ලංකාවට විදේශ රටවලින් ශාක වර්ග, සතුන්, මස්, මාංශ මෙන්ම පලතුරු ගෙනඒමේදී, ඒවා මිලදී ගත් රටවලින් ඒවා පිළිබඳ නිරෝධායන සහතිකයද අත්‍යවශ්‍ය බවත්, එසේ නොමැති වුවහොත් එම ද්‍රව්‍ය කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ශාක සහ සත්ත්ව නිරෝධායන නිලධාරීන්ට යොමු කර විනාශ කිරීමට සිදු වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෑතක සිට සමාජ ජාල වෙබ් අඩවි ඇතුළු සමාජයේ විවිධ ක්ෂේත්රවල කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන එනු ලබන පලතුරු, ශාක සහ සතුන් පිළිබඳ වැඩි කතාබහක් ඇති වී තිබීම පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.
1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනත, ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත සහ ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී රේගුව හමුවේ තමන් රැගෙන එන දෑ ප්‍රකාශ කිරීම පිළිබඳ ප්රකාශයේදී, ඒවා නිසි පරිදි අනාවරණය නොකිරීම පිළිබඳ රේගු ආඥා පනතේ විධිවිධාන සහ අනෙකුත් රජයට සම්බන්ධ රාජ්‍ය ආයතන මත ඇති විවිධ අණපනත් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ බලය පැවරී ඇත්තේද රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට බවත්, එම බලතල මත කටුනායක ගුවන්තොටුපොළේදී මෙසේ නිරෝධායන සහතික නොමැතිව රැගෙන එන ඉහත සඳහන් සියලුම ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත නිරෝධායන නිලධාරීන් වෙත යොමු කරන බවත්, ඔවුන් ඒවා ප්ලාස්ටික් ඇසුරුම් වෙත එකතු කර පසුව ඒවා විනාශ කර දමන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .
ඒ අනුව ශ්‍රී ලංකා රේගුව ඉහත පනත් මගින් පැවරී ඇති බලතල උපයෝගී කරගෙන, ශ්‍රී ලාංකික ජනතාව විදේශීය විෂබීජ, ලෙඩරෝග සහ ශ්‍රී ලාංකික වගාවන් විදේශීය දිලීර, පරපෝෂිතයන්ගෙන් බේරා ගැනීමට සහ ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සිටින බවද රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
කටුනායක - ටී.කේ.ජී කපිල