සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සංචාරක කර්මාන්තය ගැන පමණක් අවධානය යොමුකිරීම නිසා වනඅලි සිදුකරන මිනිස් ඝාතන හා දේපළ හානි සම්බන්ධව අවධානය යොමුකර නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.
වත්තල වැනි නාගරික ප්‍රදේශයක් නියෝජනය කරන ඇමතිවරයාට වනජීවීන් හා අලි-මිනිස් ගැටුම සම්බන්ධව අවබෝධයක් නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.
වනඅලි ගම්වදින අවස්ථාවලදී වනජීවී කාර්යාලවලට කතා කළ විට සේවකයන්, නිලධාරීන් හා වාහන හිඟයක් පවතින බැවින් පැමිණිය නොහැකි යැයි වනජීවී නිලධාරීන් පවසන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.
මේ හේතුවෙන් මියයන පුද්ගලයන් ගණන දිනෙන් දින වැඩිවෙමින් තිබෙන බවත්, ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සතියකට එක් පුද්ගලයෙකු බැගින් වනඅලි ප්‍රහාරවලට ලක්ව මියයන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
වනඅලි ප්‍රහාර දීම් හේතුවෙන් මියයන හා දේපල හානි සිදුවන පුද්ගලයන්ට වන්දි ලබාදීම් සිදුනොවන බවත්, බොහෝ බල කිරීම් සිදුකරන අවස්ථාවලදී නිලධාරීන් පැමිණ ලිපි රැගෙන යාම පමණක් සිදුවන බවත් විමලවීර දිසානායක මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදී තමන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසා තිබෙන බවත්, ඇමතිවරයා විසඳුමක් ලබානොදී සංඛාලේඛන පමණක් ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.