ගැසට්ටුවේ ප්‍රාකාරව වැඩිවූ රුපියල් 1000 සිංහල දමිළ අවුරුද්ද ලබන මාසයේ නොලැබුණහොත් පාරට බසින බවත් හාල් ,පරිප්පු ගැසට්ටුව මෙන් මේ ගැසැට්ටුවත් වුවහොත් එය ආණ්ඩුවේ අවසානය බවත් පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගාල්ලගේ මහතා ,
අපි කඹුරලා කඹුරලා වැඩිකර ගත්ත වතු කම්කරු වැටුප ගැසට් කිරීම ගැන ඇත්තටම සතුටු වෙනවා. ඒ ගැන රජයට අපි ස්තූති වන්ත වෙනවා. ඒ නමුත් අපිට ලොකු සැකයක් තියෙනවා මේ වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුවත් හාල් පරිප්පු මිල අඩු කිරීමේ ගැසට්ටුව වගේ වේවිද කියලයි. මොකද අද ගැසට් ගැන ජනතාවගේ කිසිම විශ්වාසයක් නැහැ.
ඒ නිසා වැඩි කල වැටුප ගැසට් කරලත් නුදුන්නොත් අපි ඊට විරුද්ධව සටන් කරනවා. මේ සිංහල දෙමළ අවුරුද්ද කන්න අප්‍රේල් මාසයේ මුල් සතියේ නුදුන්නොත් අපි පාරට බහිනවා. තාමත් වතු හාම්පුතුන් මේ වැටුප් වැඩිවීම දෙන්න සූදානමක් නැති පාටයි අපිට පෙනෙන්නේ.
අපේ වැටුප් වැඩිවීම නොදෙන වතු වහාම රජයට ගන්න. මේ පාර අපි සිංහල දෙමළ අවුරුද්ද කන්න ලැහැස්ති වෙන්නේ මහත් බලාපොරොත්තු ඇතිවයි. අපේ වැටුප් වැඩිවීම පිළිබදව දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවයි. ඒ බලාපොරොත්තු කඩ වුණොත් ඒක රජයට ලොකු අවාසියක් වේවි.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත