වතු කම්කරුවාගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත් කරගැනීමේ සටන අනිද්දා (23දා) ආරම්භ කරන බව වතු කම්කරුවන්ට රුපියල් දහසක් දිනා දීමේ ව්‍යාපාරය සඳහන් කරයි.
23 වැනි දා සමස්ත ලංකාවම තුළ උද්ඝෝෂණ සිදුවන බවත්, තෝරා ගත් වතුවල සේවකයන් වැඩ වර්ජනය කරමින් රුපියල් දහසක් දිනා ගැනීමේ සටන ආරම්භ කරන බවත් එම සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ලංකාවට ආදායම් උපයා දෙන වතු කම්කරුවාගේ ජීවිත ඉතාමත් දුක්ඛිත තත්ත්වයක පවතින බවත්, මේ නිසා වෘත්තිය සමිති සිවිල් සංවිධාන හා වතු කම්කරුවන් නියෝජනය කරන වෘත්තිය සමිති එකතු වී දාහේ ව්‍යාපාරය සකස් කර තිබෙන බවත් මෙහිදී පවසා සිටියේය.
මේ නිසා 23 වැනිදායින් ඇරැඹෙන සටන අවසන් වන්නේ වතු කම්කරුවාගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත්කර ගැනීමෙන් පසුව බවද ධම්මික මුණසිංහ මහතා අවධාරණය කළේය.