දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී. විග්නේශ්වරන් මහතා යෙදවීම හේතුවෙන් තමන් ඇතුළු පක්ෂය අවුරුදු 05ක් පුරාවට විඳවන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, ඊයේ (21දා) සවස මුලතිව් දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාවේයි සේනාධිරාජා මහතා,
''විග්නේෂ්වරන් මහත්තයා අපි දෙමළ ජාතික සන්ධානයෙන් දේශපාලනයට ගෙනැල්ලා විශාල පවක් කරගත්තෙ. ඒකෙ වැඩි කොටසක් මම තමයි කරලා තියෙන්නේ. දැන් අවුරුදු 05ක් තිස්සේ අපි ඒක විඳවමින් ඉන්නවා. දැනුත් එහෙම තමයි. මේ ඊයේ, පෙරේදත් විග්නේශ්වරන් මහත්තයා දෙමළ ජාතික සන්ධානයට චෝදනාවක් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව විග්නේශ්වරන් මහත්තයයි ගජේන්ද්ර කුමාර් පොන්නම්බලන් මහත්තයයි ප්‍රතික්ෂේප කරන්න කිව්වා. අපේ සන්ධානයෙන් මෙම ගැටලුව විසඳනවාට විග්නේෂ්වරන් විරුද්ධයි. ඒකයි ඔහු මෙහෙම ප්‍රකාශ කරන්නේ. ඔහු හිටපු විනිසුරුවරයෙක් කියනවා. නමුත් ඔහුට විරුද්ධවත් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් තියෙනවා. කොහොමහරි විග්නේෂ්වරන් සම්බන්ධයෙන් සහ අපේ දේශපාලන ඉදිරි ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් තීරණය අපි නුදුරේම ප්‍රකාශ කරනවා. එතකන් අපේ ජනතාව ඉවසන්න කියලයි මම කියන්නේ'' යනුවෙනි.
වවුනියාව - මධුෂංඛ අමරසිංහ