ලබන වසර තුළ මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ පේරාදෙණිය, ගම්පහ, හග්ගල, සීතාවක හා මිරිජ්ජවිල උද්භිද උද්‍යාන මේ යටතේ සංවර්ධනය කරන බවයි.
මේ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 177.1කි. ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය හා ගනේවත්ත වන ඖෂධ උද්‍යාන සංවර්ධනයට රුපියල් මිලියන 60.5ක මුදලක් වෙන් කර තිබේ.
හග්ගල උද්භිද උද්‍යානය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 63.5ක්, මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය සංවර්ධනය රුපියල් මිලියන 25.58ක්, සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය සංවර්ධනයට රුපියල් මිලියන 24.2ක් වෙන් කර ඇතැයි ද ඇමතිවරයා කියයි.
මල් වගාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 47කි. මේ යටතේ මල් වගාකරුවන් 5000කට පමණ අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට නියමිතයි. මීට අමතරව මීගලෑව හරිත පියස පුහුණු මධ්‍යස්ථානය, ශාඛාගාරය හා ශාඛා වර්ගීකරණය හා පර්යේෂණ වැඩසටහන සඳහා ද ප්‍රතිපාදන වෙන්කර තිබේ.