ලංගම සේවකයන්ට ඇති වී තිබෙන ප්‍රධාන ගැටලු තුනකට විසඳුම ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන නිසා හෙට (18දා) සිට ඉදිරි දින 10ක කාලය තුළ ලංගමය තුළ අඛණ්ඩව වැඩ වර්ජනයක් ආරම්භ විය හැකි බව සමස්ත ලංකා ප්‍රවාහන සේවාක සංගමය පවසයි.
මෙම ක්‍රියාමාර්ගයේ ආරම්භයක් ලෙස හෙට (18දා) දින මුදල් අමාත්‍යාංශයට හා කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සිදුකරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.
පසුගිය වසරේදී ලංගමයේ සේවක පිරිසට වැටුප් ඉහළ දමා තවත් සේවක පිරිසකට වැටුප් විෂමතාවක් ඇති කර තිබෙන බවත්, මෙම ගැටලුව කඩිනමින් විසඳන බවට පසුගිය වසරේ අගෝස්තු මාසයේදී බලධාරීන් පොරොන්දු වූ බවත් ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව අයවැය යෝජනාවක් ලෙසට මේ වසරේ ජූලි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් දෙදහස් පන්සියයක මුදල තවමත් ලංගම සේවකයන්ට ලබාදී නොමැති බවද ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේය.
ලංගම තුළ වසර ගණනාවක සිට අනියම් හා ආදේශක තනතුරු යටතේ සේවය කරන සේවකයන් හාරදහසක් සිටින බවත්, මෙම පිරිස් කඩිනමින් ස්ථිර සේවයට බඳවා ගන්නා බවට බලධාරීන් ලබාදෙන පොරොන්දු දිගින් දිගටම කඩකරමින් සිටින බවත් හෙතෙම පැවසීය.
කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශය විසින් අදාළ කටයුතු සිදුකළ යුතු බවත්, මේ නිසා මෙම ආයතන දෙකටම විරෝධය දක්වන බවත් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.
එසේම මෙම විරෝධතාවට විසඳුම් නොලැබුණහොත් අද සිට දින 10ක කාලයක් තුළ ලංගම රියදුරු, කොන්දොස්තරවරුන් හා කාර්මික නිලධාරීන්ද ඇතුළු සමස්ත ලංකා සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.