රුපියල් 644,000ක් වටිනා පුටුවක ඉඳ ගැනීමට තරම් තමන්ට මානසික ලෙඩක් නොමැති බවත්, පුටු සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුකාරවරයා තමා සමග සාකච්ඡා කළ බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
රුපියල් 644000ක් වටිනා පුටුවක් මිලදී ගන්නා ලෙස තමා, අමාත්‍ය මණ්ඩලය හෝ මන්ත්‍රීවරුන් ඉල්ලා නොමැති බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ, බස්නාහිර පළාත් නව ගොඩනැගිල්ල පරිශ්‍රයේදී අද (12දා) පැවැති මාධ්‍යය හමුවකදීය.
සභා කටයුතු කාරක සභාව පුටුවක වටිනාකම නොදැන සිටි බවත්, එම කාරක සභාව පාර්ලිමේන්තුවට ගොස් පරීක්ෂා කර බලා පාර්ලිමේන්තුවට සමාන පුටුවක් මිලදී ගන්නා ලෙස දැනුම්දීම එකම වැරැද්ද වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
තමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, මන්ත්‍රීවරුන් හා නිලධාරීන් කිසිඳු වැරදි වැඩක් සිදුකර නොමැති බවත්, වැරැදි තීන්දු තීරණ අරගෙන නොමැති බවත් පැවසූ දේවප්‍රිය මහතා රුපියල් 644,000 වටිනාකමට පුටුවක් මිලදී ගැනීමට කිසිවෙකු තීන්දු නොකළ බවද පවසා සිටියේය.
නව ගොඩනැගිල්ලට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට තිබෙන අතර, අලුත් සභා ශාලාවකට දොර ජනෙල් සවි කිරීම සාමාන්‍ය දෙයක් බවත්, නව ගොඩනැගිල්ලේ සභාගර්භයේ දොර සඳහා කෝටි 1, ½ක් වැයවී නොමැති බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරි මාසය ඇතුළත සභාවේ අඩුපාඩු සම්පූර්ණ කළ පසුව මාධ්‍යට සභාව විවෘත කරන බවත් පැවසීය.