රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා ගජමුතු 4ක් සමඟ කාන්තාවක ඇතුළු 5 දෙනකු අද ( 13) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොස්ලන්ද, මොණරාගල, වැල්ලවාය, හඳපානාගල, ඇතිලිවැව යන ප්රදේශවල පදිංචිකරුවන් බව නිලධාරිහු කියති.
අත්අඩංගුවට ගත් එක් එක් ගජමුතු බරින් ග්රෑම් 9ක් සහ මිලිග්රෑම් 210ක්, ග්රෑම් 9 මිලිග්රෑම් 450ක්, ග්රෑම් 10 මිලිග්රෑම් 230ක් සහ ග්රෑම් 7 මිලිග්රෑම් 830ක් වන බව නිලධාරිහු කියති.
මෙම ගජමුතු වෙනත් පුද්ගලයකුගෙන් මිලදී ගෙන අලෙවි කිරීම සඳහා ගෙනා ඒවා බව සැකකරුවන් පැවසූ බව නිලධාරිහු කියති.
හම්බන්තොට බඳගිරිය හතේකණුව ප්රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි බව කියන යතුරුපැදියක් සහ ත්රිරෝද රථයක්ද විශේෂ කාර්යය බළකා නිලධාරින්ගේ බාරයට ගෙන තිබේ. නාවික හමුදාවේ බුද්ධි අංශ තොරතුරු අනුව වැටලීම සිදුකර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම ගජමුතු හම්බන්තොට වනජීවි කාර්යාලයට බාර දුන් බව විශේෂ කාර්යය බළකා නිලධාරිහු කියති.