කොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා දැනට ලොව නිෂ්පාදනය කර ඇති එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රටවල් 192ක් මේ වන විට ඉල්ලා තිබෙන බවත් වෛරස පාලනයේ දී දක්වා තිබෙන ප්‍රගතිය මත එම එන්නත ලබාදීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවක් හිමි වනු ඇති බව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී , යුද හමුදාපති , ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහනුවර දී පැවසීය.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (29) ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි .
එහිදී ඒ මහතා මෙසේද පැවසීය’ “කොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා දැනට ලොව නිෂ්පාදනය කර තිබෙන එන්නත් කීහිපය අතරින් අපේ රටට වඩාත් ගැළපෙන එන්නත කඩිනමින් මෙරටට ගෙන ඒම සඳහා පියවර ගන්නවා. පරිත්‍යාග ලෙස මෙම එන්නත් ලැබීමට ඉඩ තිබෙනවා . එසේ නොවුණහොත් ඕනෑම මුදලක් ගෙවා එම එන්නත් ගෙන්වන ලෙස ජනාධිපතිතුමන් උපදෙස් දී තිබෙනවා .
එක්සත් රාජධානිය තුළින් හඳුනා ගත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය දැනට මෙරටින් සොයා ගෙන තිබෙන වෛරසයට වඩා 70% ක වේගයකින් ව්‍යාප්ත වන බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා . එය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනව .
වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ජනතාව අතරින් අති බහුතරයකගේ ඉහළ සහයක් ලැබුණත් සුළු පිරිසක් සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව ක්‍රියා කරමින් රට අවදානමකට පත් කිරීමට කටයුතු කරමින් සිටීම කනගාටුවට කරුණක් .
අත්‍යාවශ්‍ය කාරණාවකට හැර බස්නාහිර පළාතෙන් පිට නොවන ලෙස දැනුම් දී තිබියදී ඇතැමුන් වගකීම් විරහිතව ක්‍රියා කරනවා. බස්නාහිර පළාතෙන් පිට වීමට ඇති මාර්ග හතරක දී ඇන්ටිජන් පරීක්ෂණ වලට පුද්ගලයන් ලක් කළ අවස්ථාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 56 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා”
ෂේන් සෙනෙවිරත්න