පැරණි ලංගම බස් රථ අලුතින් සකස් කරන ලක්දිව ඉංජිනේරු සමාගම මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා රුපියල් මිලියන 35ක ලාභයක් ලබා තිබේ.
එම කාලයේදී සමාගම බස් රථ 107ක් ප්රතිනිෂ්පාදනය කර තිබෙන අතර, එය පසුගිය වසරේ ජනවාරි සිට අගොස්තු දක්වා කාලයට සාපේක්ෂව සමාගමේ කාර්යක්ෂමතාව සියයට සියයකින් ඉහළ යාමක් සිදුවේ.
ලක්දිව ඉංජිනේරු සමාගමේ දුම් සහතික නිකුත් කිරීමේ පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කළ සමාගම් ප්‍රගති සමාලෝචන වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය විය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී සඳහන් කළේ, තමා අමාත්‍යාංශය බාරගන්නා විට ලක්දිව ඉංජිනේරු සමාගම මාසයකදී බස් රථ 07ක් අලුතින් සකස් කළද, අද වනවිට 15 දක්වා වැඩි වී තිබෙන බවත්, ඉදිරියේ එය 20 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙන බවත්ය.
සමාගමේ ව්‍යාපාරික අවස්ථා තවත් පුළුල් කරමින් ජපන් රථවාහන අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් එම භූමියේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
ලංකා ගමනාගමන මණ්ඩලයට පූර්ණ වශයෙන් සේවා සැපයීම අරමුණු කරගනිමින් ලක්දිව ඉංජිනේරු සමාගමේ සේවකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් සහ දැනුමින් දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ඉදිකළ බවත්, අතහැර දමන ලද ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර ඊට යොදාගත් බවත් ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.