ලංකාවේ ප්‍රථම විස්තීර්ණ ජාතික බැටරි පරීක්ෂණ සේවාව ඇරඹේ
මෙරට ප්‍රථම විස්තීර්ණ ජාතික බැටරි පරීක්ෂණ සේවාව ලෙස ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (NERDC) ස්ථාපිත කළ ‘විද්‍යුත් සංචලන හා බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය’ (Centre for E-Mobility and Battery Technology) ඊයේ (23) විවෘත කෙරිණි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා රුපියල් මිලියන 161.5ක පමණ මුදලක් ආයෝජනය කර තිබේ.
ඉන් රුපියල් මිලියන 118ක් රජයේ ජාතික තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ (NQI) ව්‍යාපෘතියෙන් ද, රුපියල් මිලියන 43.5ක් NERDC ආයතනයේ අරමුදල්වලින් ද සපයා ඇත.
සාම්ප්‍රදායික බැටරි පරීක්ෂණවලින් ඔබ්බට ගොස් නවීන බැටරි තාක්ෂණයන් දක්වා මෙරට පරීක්ෂණ හැකියාවන් පුළුල් කිරීම මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණයි.
ඒ තුළින් විදුලි ප්‍රවාහනය හා පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීමටත් දේශීය නිෂ්පාදන සංවර්ධනයට හා කර්මාන්ත ක්ෂේත්රයේ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීමටත් අවස්ථාව සැලසේ.
විවිධ වර්ගයේ බැටරි සහ බැටරි පද්ධතිවල ක්‍රියාකාරීත්වය, ධාරිතාව, කල්පැවැත්ම හා ආරක්ෂාව ඇගයීම සඳහා අවශ්‍ය නවීන පරීක්ෂණ පහසුකම් මෙහි ස්ථාපිත කර තිබේ.
එසේම විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ බැටරි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සහ විද්‍යුත් වාහන ආරෝපණ උපකරණ සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් ද ඊට ඇතුළත්ය.
මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළේ විදේශීය තාක්ෂණය ආනයනය කිරීමෙන් පමණක් සීමා නොවී එම තාක්ෂණයන් පරීක්ෂා කිරීමට ඇගයීමට, වැඩිදියුණු කිරීමට සහ මෙරටට ගැළපෙන නව තාක්ෂණික විසඳුම් සංවර්ධනය කිරීමට අවශ්‍ය දැනුම හා පහසුකම් රට තුළම ගොඩනැගීම රජයේ අරමුණ බවයි.
මෙම මධ්‍යස්ථානය මඟින් මෙරට විද්‍යාත්මක හා තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීමට දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට සහ අනාගත බලශක්ති හා ප්‍රවාහන ක්ෂේත්රයේ තාක්ෂණික පරිවර්තනය සඳහා රට සූදානම් කිරීමට හැකි වන බව ද අමාත්‍යවරයා පැවසීය.
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය, බලශක්ති කාර්යක්ෂමතාව සහ තිරසර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම රජයේ ජාතික සංවර්ධන ප්‍රමුඛතා අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා බවත් එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බලශක්ති ගබඩා කිරීමේ නවීන බැටරි තාක්ෂණය හා විද්‍යුත් ප්‍රවාහන විසඳුම් අත්‍යවශ්‍ය බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
බැටරි තාක්ෂණයේ දියුණුවත් සමඟ බැටරි ආරක්ෂාව සහ පාරිසරික ආරක්ෂාව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ගුණාත්මක බැටරි භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙන්ම භාවිතයෙන් ඉවත් කරන බැටරි නිසි ලෙස කළමනාකරණය කිරීම, නැවත භාවිතයට ගැනීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ද රට තුළ වර්ධනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
