රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මහත්මිය රුසියාවට පත්ව ආ විදේශ රටවල තානාපතිවරුන් 19 දෙනෙකු සමඟ එක්ව පසුගියදා රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වූවාය.
මෙම උත්සවය ග්‍රෑන්ඩ් ක්‍රෙම්ලින් මාළිගයේ ඇලෙක්සැන්ඩර් ශාලාවේ දී සම්ප්‍රදායානුකූලව පැවැත්විණි. කෙසේ වුවද රුසියාව තුළ රාජ්‍යතාන්ත්‍රික වෘත්තියක් ආරම්භ කිරීමේ දී අනුගමනය කරන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාපටිපාටි ඇතුළත් මෙම උත්සවය අයහපත් වසංගත තත්ත්වය හේතුවෙන් සීමා සහිත ආකෘතියක් යටතේ පැවැත්විණි.
ශ්‍රී ලංකාව පිළිබඳව සිය අදහස් පළ කළ ජනාධිපති පුටින් මහතා, “ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65 ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සංවත්සරය අපි ලබන වසරේ දී සමරන්නෙමු. දෙරටේ විදේශ අමාත්‍යංශ, ආරක්ෂක අමාත්‍යංශ සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශ අතර මෙන්ම පාර්ලිමේන්තු අතර ද යහපත් සබඳතා ගොඩනැගී ඇත. තවද, රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්‍රෂෙව් මහතා නොවැම්බර් 22 වැනි දින කොළඹට පැමිණ ඇත.” යනුවෙන් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව 2009 වසරේ සිට ෂැංහයි සහයෝගිතා සංවිධානයේ කර්තව්‍යයන් තුළ සංවාදමය හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ වී කටයුතු කළ බවත් එමගින් යුරේසියානු කලාපයේ ආරක්ෂාව සහ එහි තිරසාර සමාජීය ආර්ථික වර්ධනය තහවුරු කිරීමේ ප්‍රයත්නවලට දායක වූ බවත් ජනාධිපති පුටින් මැතිතුමා සඳහන් කළේය.
තානාපතිවරුන් නියෝජනය කරන රාජ්‍යයන් සමඟ රුසියාව පවත්නා සබඳතා පිළිබඳව අවධාරණය කළ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ඔවුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය තුළින් එම සබඳතා නව අන්තර්ගතයන්, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන ව්‍යාපෘති සහ මුලපිරීම්වලින් පරිපූර්ණ වනු ඇතැයි අපේක්ෂා කළ අතර පොදුවේ ගත් කල ජාත්‍යන්තර ආරක්ෂාව සහ ස්ථාවරභාවය සම්බන්ධයෙන් එම රටවල ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගතිකව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළේය.
ක්‍රෙම්ලින් මාළිගයේ පැවති නිල උත්සවයෙන් අනතුරුව තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය පළ කළ හෘදයාංගම සුබපැතුම් පිළිගත් තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය දූත මණ්ඩලයේ නිලධාරීහු සිය නිල නිවස වෙත පිළිගත්තාය.


