සීතාවක ප්රාදේශීය සභාව ඇතුළු ප්රාදේශීය සභා කිහිපයක සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට හෝ විවෘත ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීමේ බලය පළාත් පාලන කොමසාරිස්වරයාට බලය තිබේද? නැද්ද? යන්න පිළිබඳව තීන්දුව ලබන 15 වැනිදා ප්රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (09) දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණ නියෝගය ප්රකාශයට පත්කරන තෙක් අදාළ ප්රාදේශීය සභාවල තනතුරු සඳහා තෝරා ගැනීම් සිදුකිරීම සඳහා ඡන්ද විමසීම් නොපවත්වන ලෙස පළාත් පාලන කොමසාරිස්වරුන්ට උපදෙස් දීමට නීතිපතිවරයා එහිදී එකඟත්වය පළ කළේය.
සීතාවක ප්රාදේශීය සභාව ඇතු`ථ ප්රාදේශීය සභා කිහිපයක සභාපතිවරු සහ උපසභාපතිවරුන් තෝරා ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් පළාත් පාලන කොමසාරිස්වරුන් වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම ප්රාදේශීය සභාවල මන්ත්රීවරුන් පිරිසක් ගොනුකළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙසේ දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවිණි.
අදාළ ප්රාදේශීය සභා නියෝජනය කරන විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් විවිධ ප්රාදේශීය සභාවල සභාපති සහ උපසභාපති තනතුරු තෝරා කිරීම සඳහා විවෘත හෝ රහස් ඡන්ද විමසීම් පැවැත්වීමට ඒ ඒ පළාත් කොමසාරිස්වරු කටයුතු කර ඇතැයි පැවසීය.
බස්නාහිර පළාත් කොමසාරිස්වරිය විසින් එක් තීන්දුවක්ද විවිධ ප්රාදේශීය සභාවලදී එකිනෙකට වෙනස් තීන්දු ගැනීමටද කටයුතු කර ඇතැයි නීතිඥවරු පෙන්වා දුන්හ .
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා කරුණු දක්වමින් බණ්ඩාරගම ප්රාදේශීය සභාවේ තනතුරු සඳහා තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවතීමට එරෙහිව පෙත්සමක් ගොනුකර ඇතැයි සඳහන් කළේය.
වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු කීපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිදු උපදෙසක් ලැබී නැතැයි පැවසීය.
පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය තීන්දුව ලැබෙන තෙක් අදාළ ඡන්ද විමසීම සම්බන්ධ රැස්වීම් පැවැත්වීමට කටයුතු නොකරන ලෙස පළාත් මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් දීමට ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා එකඟත්වය පළ කළ අතර නඩුවට අදාළව තම සේවාදායකයින් සීමිත විරෝධතා ගොනුකර ඇතැයි පැවසීය. පෙත්සම් සම්බන්ධයෙන් නීතිඥවරු අධිකරණය හමුවේ වාචිකව කරුණු ඉදිරිපත් කෙරිණි.