තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඒ පිළිබඳව ඔහුගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධව.
පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අවතැන් වූවන් 12500 තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ප්‍රවාහන පහසුකම් ලබාදීමට හිටපු අමාත්‍ය රිශාඩ් බදුර්දීන් මහතාගේ අමාත්‍යංශය යටතේ ඇති දීර්ඝ කාලීනව අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් ලංකා ගමනාගමන මණ්ඩලයේ පුත්තලම ඩිපෝවට මුදල් ගෙවීම නීති විරෝධී යැයි සඳහන් කරමින් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලදි.
ඉහත චෝදනාවන්ට හේතු වන්නේ පුත්තලම ප්‍රදේශයේ සිටින දීර්ඝ කාලීන අවතැන් වුවන් උතුරු පළාතේ තමන්ගේ ගම් බිම් වල ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස උතුරු පළාතේ අවතැන්වූවන්ගේ සංවිධානය විසින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලීම ඉටුකර දෙන ලෙස එම විෂයභාර අමාත්‍යංශයේ ලේකම් වෙත එනම් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අමාත්‍යංශය වෙත අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක විසින් ලිඛිතව දන්වා තිබිණි.
ඉහත ඉල්ලීම ඉටුකිරීම සඳහා අවශ්‍ය ගෙවීම් සිදුකිරීමට දීර්ඝ කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ ඉල්ලීම මත විෂයභාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා විසින් එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීමක් කරන ලද අතර ඒ සඳහා නිසි අනුමැතියද ලබාදෙන ලදී.
එවක අග්‍රාමාත්‍යවරයාගේ අනුදැනුම මත හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට අනුව දීර්ඝ කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් රජයේ ආයතනයක් වන ලංකා ගමනාගමන මණ්ඩලයේ පුත්තලම ඩිපෝවට එම ජනතාවගෙන් නැවත ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත මුදල් ගෙවන ලදී. තවද එම මුදල දින 6කට පසුව එම අවතැන්වුවන්ගේ සංවිධානය විසින් නැවත ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත ගෙවා ඇත.
මෙම කටයුත්ත ඉතාම නිත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් යුතුව දීර්ඝ කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් සිදු කර ඇත.
මෙම දීර්ඝ කාලීනව අවතැන් වුවන්ට තමන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කර ගැනීම සඳහා පැවති රජයන් විසින් අවශ්‍ය පහසුකම් කලක සිට සපයන ලදී. පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම වන ඡන්ද අයිතිය ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද සහතික කර ඇත. එබැවින් ඉහත ක්‍රියාවලිය එම මූලික මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමක් වන බැවින් සහ සියළු කටයුතු නියමාකාරයෙන් සිද්ධ කිරීම රජයේ වගකීමකි.
අපරාධ පරීක්ණෂ දෙපාර්තමේන්තුව හරහා කරන මෙම ක්‍රියාවලිය හුදෙක් මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන විරුද්ධ මත දරන්නන් දඩයම් කර දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කරන ක්‍රියාවක් බව ඉතා පැහැදිලියි.
එබැවින් ඉහත කරුණු හේතු කොටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.