එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හා උපනායක රවී කරුණනායක මහතා අතර මේ වන විට දැඩි මත ගැටුමක් නිර්මාණය වී තිබේ.
ඔවුන් දෙදෙනා මේ වන විට ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ එකිනෙකාට දොස් පවරා ගන්නා තැනට පත්ව තිබේ.
මේ පසුගිය දින කිහිපයේදී ඔවුන් අතර ඇතිවූ වාග් සංග්‍රාමයයි.
2019/04/15 - රවී කරුණනායක - එක්සත් ජාතික පක්ෂයේ දැනට ඉන්නේ නායකයෝ එක්කෙනයි. ඒ රනිල් වික්‍රමසිංහ. ඒක කිසිසේතම වෙනසක් කරන්නේ නෑ. නායකත්වය වෙනස් කරන්න පුළුවන් අපේ පක්ෂයට මිසක් අපේ පක්ෂයේ බෝඩ් ලැලිවලින් දුවන අයට නෙමෙයි.
අපේ පක්ෂයේ ප්‍රතිපත්ති තිබෙනවා. මෙය අම්මලාගේ තාත්තලාගේ නම් විකුණලා පක්ෂය ඉදිරියට ගෙනි යන්න බෑ. තමන්ගේ ආසනයවත් දිනාගන්න බැරි කට්ටිය පෙන්නන්න හදනවා රට දිනන්න පුළුවන් කියලා.
යම් අය මෙවැනි ප්රතිරූප ඇතිකරලා කටයුතු කරනවා. අපි නිහඬව ඉන්නේ දුර්වලතාවය නිසා නෙමෙයි. එකමුතුභාවය ඇති කරන්න හදන්න නිසා. පීලි පදින්න හදනවානම් ඒකටත් උත්තර දෙනවා.
2019/04/16 - සජිත් ප්‍රේමදාස - තමන් බ්‍රාහ්මණයෙක්ද වසලයෙක්ද කියලා තීරණය වන්නෙ තමන්ගේ උත්පත්තියෙන් නෙමෙයි. තමන්ගේ ක්රියාදායමය තුළින්. නොයෙකුත් පුද්ගලයෝ එක එක කථා කියනවා.
බැංකු කඩපු මනුස්සයා වසලයා. බැංකු හදපු මනුස්සයා බ්‍රාහ්මණයා. ජනතා සල්ලි සූරාකන, ජනතා අරමුදල් සොරාකන, මහජනතාවගෙන් පගා ගහන, අල්ලස් ගන්න, කොමිස් ගන්න පුද්ගලයා ක්‍රියාවෙන්ම ඔප්පුකරලා පෙන්වා තිබෙනවා තමන් වසලයා කියලා.
දැන් අපිට එක එක තැන්වලින් ඇහෙනවා අම්මලා තාත්තලා ගැන කථා කරලා පිම්බෙන්න හදනවලු. අනුන්ට දෝෂාරෝපණය කරන හාදයෝම තමයි මේ ලංකාවේ වසල වැඩ කරන්නේ. ගියොත් ඒ තැන ඉවරයි. වගකීමක් බාර ගත්තොත් ඒ වගකිම ඉවරයි.
ජනතාව බලාපොරොත්තුවෙනවා ආලෝකය. නමුත් ලැබෙන්නේ අන්ධකාරය. රටේ ජනතාවම තීරණය කරයි මේ මනුස්සයා බ්‍රාහ්මණයෙක්ද වසළයෙක්ද කියලා.
කවදාවත් බැංකු කඩලා බ්‍රාහ්මණයෙක් වෙන්න බෑ. තමන්ගේ භාර්යාව යොදවලා අල්ලස් ගැනීම බ්‍රාහ්මණ ක්‍රියාවක් කියලා කියන්න බෑ.
2019/04/17 - රවී කරණානායක - මේ දවස්වල නොයෙක් අය ප්‍රශ්ණ කරගෙන යනවා. මේ ගැන මම පිළිතුරු දෙන්න අවශ්‍ය නෑ. මොකද සාමාන්‍යෙයන් පිස්සු බල්ලෙක් ඇවිල්ලා හැපුවොත් පිස්සු බල්ලව හපන්නේ නෑනේ.
මම හිතන්නේ අපේ පක්ෂයේ විනයක් තිබෙනවා ගරුත්වයක් තිබෙනවා එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීම අවශ්‍යයි. මම කියන්නේ කොයි ද්‍රෝහියෙක් වුණත් තරා තිරම නොබලා ක්‍රියාත්මක කරන්න මම හා අපි එකට සිටින කට්ටිය කටයුතු කරනවා.
කුමන්ත්‍රණ කරලා එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ කකුළ අල්ලලා වැඩි කරන්න හදනවානම් ඒ සඳහා ඉඩ දෙන්නේ නෑ කියලා ඕනෑ කමින් කියනවා.
2019/04/17 - සජිත් ප්‍රේමදාස - කතිර ගහලා මනාප ගහලා තාවකාලිකව පත්කර ගන්නා නියෝජිතයෝ තීන්දු කරනවා දැන් මට බලය ලැබුණා, දැන් මට වරම ලැබුණා අර ඡන්ද කාලේ වේදිකාවේ කථා කරපු සහන මළු වලින් වැඩක් නෑ. දැන් ඇවිල්ලා තියෙන්නේ හොඳ එකෙන්ම ගහන්න ඕන කාලේ.
ජනතාවට සේවයක් කළාට වැඩක් නෑ යම් කොට්ඨාසයක් ගිහල්ලා තමන්ටත් තමන්ගේ පවුල්වලටත් හොරාකාලා ගසා කලා, ගසා කාලා තමන්ගේ මඩි තද කරගන්න න්‍යාය පත්‍රයක් අනුගමනය කළොත් අන්න එතකොට තමයි සංවර්ධනයේ මල්ලෙත් පගා මල්ලෙත් පරස්පරය රට පුරා ව්‍යාප්ත වන්නේ.
ඇත්ත කතාව ඔන්න ඕකයි. ගසා කෑම පෙනි පෙනී එළිසිටම අහකබලා ගන්නවානම් රටේ ක්රමයේ බරපතල වැරැද්දක් තිබෙනවා.