රමළාන් මාසයේ අවසාන කොටස සහ ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
කොවිඩ් 19 ව්‍යවසනය හේතුවෙන් ආගමික වතාවත් සිදුකිරීමේදී එම සංවිධානය විසින් නිකුත් කළ මාර්ගෝපදේශ පිළිපදින ලෙසත් ඔවුන් දන්වා සිටියි.
එම සංවිධානය නිකුත් කළ නිවේදනය
කෝවිඩ්-19 ව්‍යසනයේ පැතිරීමත් සමගම රමළාන් මාසයේ වැඩි දින සංඛ්‍යාවක් අප උපවාස ශිලයේ යෙදී අවසාන දින කිහිපයට අවතීර්ණ වී සිටින්නෙමු. වර්තමානයේ මුළු ලොවටම ඇතිව තිබෙන ව්‍යසනයෙන් ලොවැසි සියල්ලන්වම ගලවා ගන්නා මෙන් මෙම ශුද්ධ වූ මාසයේ දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරන අතර මෙම අසිරිමත් මාසයේ අවසාන දින කිහිපයෙහි පහත මාර්ගෝපදේශ අනුගමනය කරන මෙන් ද සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සැමගෙන් ඉල්ලා සිටියි;
රමළාන් මස අවසන් දින කිහිපය සම්බන්ධව:
- රමළාන් මාසයේ අවසාන දින කිහිපය අපට බොහෝ කුසල් ලබා ගත හැකි කාලපරිච්ඡේදයකි. එහෙයින් මෙම දිනවල ලෙයිලතුල් කද්ර් රාත්‍රිය මුල් කර ගත් යහකි්රයාද අපගේ නිවෙස්වල සිටම ඉටුකර ගත යුතුය.
- රමළාන් මාසයේ අවසාන දින කිහිපය තුළ ඉතිකාෆ් හා රාත්‍රී නැමදුම් ආදිය ඉටුකිරීම සදහා මස්ජිද් හි එක්රැස් නොවී මේ සම්බන්ධව වක්ෆ් සභාව සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් නිසි අයුරින් පිළිපැදිය යුතුයි.
- ඇතැම් දිස්ත්‍රික්කවල අවදානම් තත්ත්වය අනුව ඇඳිරි නීතිය ක්‍රමක්‍රමයෙන් ලිහිල් කෙරෙමින් පවතියි. අත්‍යවශ්‍ය අවශ්‍යතාවන් සඳහා පමණක් නිවසින් පිටව යා යුතු අතර එසේ නිවසින් පිට වන විට මුඛාවරණය පැළඳ ගැනීම මෙන්ම සමාජ දුරස්ථභාවය සම්බන්ධ රජයේ නිර්දේශ ද එලෙසින්ම අනුගමනය කළ යුතුය. මෙවන් අවස්ථාවන්හි ඉහත කී මගපෙන්වීම් පිළිපැදීම ඉස්ලාම් දහමේ ඉගැන්වීම වන හෙයින් මේ විෂයෙහි මුස්ලිම්වරුන් ආදර්ශමත් අයුරින් කටයුතු කළ යුතුයි.
- මෙවර ඊද් උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමට කඩ සාප්පුවලට පිරිස් වශයෙන් යෑමෙන් සම්පූර්ණයෙන් වැළකි සිටියි යුතුය. මේ සම්බන්ධව රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ එලෙසින්ම අනුගමනය කළ යුතු අතර හැකි පමණින් නිවසට භාණ්ඩ බෙදාහැරීමේ සේවා (Home Delivery) හරහා ලබා ගැනීමට කටයුතු කිරීම ආරක්ෂිත ක්රමවේදයකි.
- සකාතුල් ෆිත්ර් දීම අනිවාර්ය වන්නන් ඊදුල් ෆිත්ර් නැමදුමට පෙර එය ඉටු කළ යුතුය. එමෙන්ම පෙරදී මගපෙන් වූ අයුරින් මස්ජිදය හරහා සිදු කිරීම යෝග්‍ය වනු ඇත.
ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධව:
- මෙවර ඊදුල් ෆිත්ර් දිනය ඉතා අපහසු වාතාවරණයක සමරන බව සිහි තබාගනිමින් රටේ හා මෙරට ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සදහා නිර්දේශකොට ඇති මගපෙන්වීම් නිසි අයුරින් පිළිපදිමින් කටයුතු කළ යුතුයි.
- ඊදුල් ෆිත්ර් නැමදුම මස්ජිද් වල හෝ එළිමහන් බිම් හි පිරිස් වශයෙන් රැස්වී ඉටුකිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. ඒ සදහා තම නිවසේ නිවැසියන් පමණක් එක්කාසු කර ගනිමින් ඉටුකර ගත යුතුය.
- මෙවර ඊදුල් ෆිත්ර් නැමදුම නිවැසියන් පමණක් එක්කාසු කර ගනිමින් සෞඛ්යාරක්ෂිත අන්දමින් ඉටුකිරීමට සුදානම් කරගත යුතුයි. එමෙන්ම අනවශ්‍ය ගමන්බිමන් හා එක්රැස්වීම් වලින් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුයි.
- ඊදුල් ෆිත්ර් දින හෝ වෙනත් දින වල අන් අය හමු වූ විට අතට අත දීම හෝ වැළඳ ගැනීම (මුසාෆහා/මුආනකා) ආදිය නොකළ යුතුය.
- ශව්වාල් හඳ දිස් වුනු මොහොතේ සිට ඊදුල් ෆිත්ර් නැමදුම ඉටුකරන තෙක් අදාන් ඇරයුමට පසු ශබ්ද විකාශනය හරහා මස්ජිද්වල තක්බීර් ප්‍රකාශ කිරීමට කටයුතු කළ යුතුය.
- ඊදුල් ෆිත්ර් උත්සව සමයේ දී දුගී දුප්පත් උදවිය විෂයේද අවධානය යොමු කරමින් එවන් අය සොයා හැකි අන්දමින් උදව් උපකාර කළ යුතුයි.
සර්ව බලධාරී අල්ලාහ්, අපගේ උපවාසශීලය ඇතුලූ සියලූ යහකි‍්‍රයා පිළිගනු මැනව. මෙම වසංගතයෙන් ලොවැසි සියල්ලන්ව ආරක්ෂා කරත්වා. ආමීන් !
වස්සලාම්,
අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික් විද්වතුන්ගේ සභාව
සැ:යු : ඉහත මාර්ගෝපදේශ සුදුසු වේලාවකට අදාන් ඇරයුමට පසු මස්ජිදයේ ශබ්ද විකාශනය හරහා ප්‍රදේශවාසීන්ගේ දැන ගැනීම පිණිස ප්‍රකාශ කිරීමට පියවර ගන්නා මෙන් මස්ජිද්වල පරිපාලනයෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම මෙම මගපෙන්වීම් කි‍්‍රයාත්මක කිරීමට සහයෝගය ලබා දෙන මෙන් සැමගෙන්ම ඉල්ලා සිටිමු.