වර්තමානයේ ජනතාව අත්විඳිමින් සිටින්නේ තම ආණ්ඩු කාලයේ මතුවෙමින් පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළෙඳ ආර්ථිකයකට පරිවර්තනය වීමේ ආනිශංස බවත්, මේ මතුවෙමින් තිබෙන ආර්ථික අර්බුදයට හේතුව වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති හා ලංකාවට ආවේණික ආර්ථික කළමනාකරණ උපාය මාර්ගයක් නොමැතිවීම බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
2007, 2008 වර්ෂවලදී ඇති වූ ලෝක ආර්ථික අර්බුදයන් හමුවේ ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවීමට තමා වගබලාගත් බවත්, වත්මන් ආණ්ඩුව ඇති වී ඇති අර්බුද කළමනාකරණය නොකර ඒවාට මැසිවිලි නගමින් සිටින අතර, ඒ හේතුවෙන් රුපියල බාල්දු වීමත්, දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ පවා වැඩි වැඩියෙන් ආනයනය කිරීමට සිදුවීමත්, බඩු මිල ඉහළ යෑමත් සිදුවන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දී තිබේ.
මහ බැංකු වාර්තාවලට අනුව රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර රුපියල් බිලියන 697කින් වැඩිවී ඇති බවත්, මෙම ණය ගෙවීම සඳහා රුපියල්වලින් ආදායම් උපයා ඩොලර් මිලදී ගැනීමට ආණ්ඩුවට සිදුවන අතර, එම නිසා මේ වසර තුළ විදේශීය ණය බර කලින් වසරවලටත් වඩා දරුණු අන්දමට වැඩිවනු ඇති බවත් හෙතෙම මෙහිදී පෙන්වා දේ.
ආණ්ඩුව ඉවක් බවක් නොමැතිව විදේශීය වාණිජ ණය ලබාගෙන ඇති අතර, 2015 සිට අද දක්වා ආණ්ඩුව ලබාගෙන ඇති විදේශ විනිමය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 20.7ක් වන බවත්, මෙම ණය බර නිසා රුපියලේ අගය අවප්‍රමාණය වීමත්, ඒ හේතුවෙන් විදේශීය ණය බර වැඩිවීමත් සිදුවන බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳ පොළේ භාණ්ඩවල මිල අඩුවීමේ වාසියද ලංකාවේ ජනතාවට අහිමි යනු ඇති බවත්, අද ලෝක වෙළෙඳ පොලේ බොරතෙල්වල අඩු මිලත්, ලංකාවේ ඉන්ධනවල ඉහළ මිලත් අතර නොගැළපීමට ප්‍රධාන හේතුව රුපියලේ අවප්‍රමාණය හා ඉන්ධන මත පනවා ඇති බදු වන අතර, ආණ්ඩුව ඉන්ධන මිල සූත්‍රය ප්‍රසිද්ධ නොකරන්නේ ඉන් ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම ඉන්ධන මත අයකරන බදු ප්‍රමාණය හෙළිවන නිසා බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.