දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළකාලන්නයි ඉල්ලමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොනු කළ පෙත්සම ලබන වසරේ ජනවාරි 27 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න දේවිකා අබේරත්න සහ ඩි.එම්. සමරකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.
යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ තමන් එම සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි වලට අදාළව තමන්ගේ සම්බන්ධයක් ඇති බව මේ පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ කොට ඇති බව ජනමාධ්‍ය මගින් තමන්ට දැනගන්නට ලැබුණ බව රනිල් වික්‍රමසිංහ මහතා සිය පෙත්සමෙන් සඳහන් කොට ඇත.
එම කොමිෂමට කරුණු ඉදිරිපත් කිරීම සඳහා තමන්ට සාධාරණ කාලයක් ලබා නොදුන් බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා මෙම කොමිසමේ අවසන් නිර්දේශ වල තමන් සම්බන්ධයෙන් නිකුත් කොට ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොතිබිණි. එම තත්ත්වය සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙත යළි නොතීසි යැවීමට නියම කළේය.