හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීධුරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? යන නියෝගය ප්‍රකාශයට පත් කරන දිනය ලබන 24 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් අභියාචනාධිකරණය ඔහුගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ලබන 24 වැනිදා තෙක් කිසිඳු පියවරක් නොගන්නා ලෙස පාර්ලිමෙන්තු මහලේකම්වරයාට අද (18දා) නියම කළේය.
පාර්ලිමෙන්තු මන්ත්‍රීධුරයෙන් තමන් ඉවත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ඉදිරිපත් කොට ඇති රිට් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී මීට පෙර කර තිබු නියෝගය දීර්ඝ කරමින් අභියාචනාධිකරණය එලෙස නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට තමන් වරදකරු කරමින් ලබා දී ඇති වසර හතරක සිර දඬුවම අහෝසි කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ ඇපෑලක් ගොනු කොට ඇති හෙයින් පාර්ලිමෙන්තු මන්ත්‍රීධුරයෙන් තමන් ඉවත් කිරීම වළකාලන රිට් ආඥාවක් පාර්ලිමෙන්තු මහලේකම්වරයාට නිකුත් කරන්නැයි රංජන් රාමනායක මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කොට ඇත.
රංජන් රාමනායක මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමෙන්තු මහලේකම්වරයා සහ නීතීපතිවරයා නම් කොට ඇත.