රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ආශ්‍රිතව ඉදිරියේ පැවැත්වීමට නියමිත කඨින පිංකම් සහ කෝවිල්වල වේල් උත්සව අවම ජන සහභාගිත්වයක් ඇතිව, තරුණ පිරිස්වලට මුල්තැන දෙමින් පැවැත්වීමට ඊයේ රැස්වු රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කළේය.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්විම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසුවේ 20දා වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1506ක් නිරෝධායනයට ලක්කර ඇති බවයි. ඔවුන් අතරින් 1129ක් කොරෝනා අවදානම් සහිත ප්‍රදේශවලින් පැමිණි අය බවත් 137 දෙනෙක් විදේශ රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වන අය බව ද කීවේය.
එසේම 240ක් කොරෝනා ආසාදිතවී ඇති බවට සැකකරන අයගේ පළමුපෙළ ආශ්‍රිතයන් බවද වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසුවේය. කෙසේ වෙතත් 20දා වනවිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් හසුවී ඇති ආසාදිතයන් ගණන තුනක් බවද ඔහු පැවසුවේය.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් නිකුත් කරන උප්පැන්න, විවාහ සහ මරණ සහිකවල සහතික කළ පිටපත් නැවත දැනුම් දෙන තුරු රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාවට පමණක් ලබාදීමට ද 20දා පැවති රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටු රැස්විමේදි තීරණය කරනු ලැබීය.
රත්නපුර දිස්ත්‍රික්කය තුල පවතින පුස්තකාල සහ ළමා උද්‍යාන ද නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට ද එහිදී තීරණය විය. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇගලූම් කර්මාන්ත ශාලාවල වැඩකරන පුද්ගලයින් අහඹු ලෙස පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමට ද තීරණය විය.