රත්නපුර දිස්ත්‍රික්කයෙන් පළමු කෝවිඩ් මරණය 23දා රාත්‍රී වාර්තා වූ බව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මිය අද (24දා) පැවසුවාය.
මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය නායකත්ව පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකි.
මියගිය තැනැත්තා රත්නපුර, පොම්පකැලේ ලිපිනයේ පදිංචි වී.එම්. ක්‍රිෂ්ණන් නැමැති පනස් හැවිරිදි වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියදුරෙකි. ඔහු දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ හෘද රෝගී තත්ත්වයෙන් පෙළන අයෙක් වන අතර බයිපාස් සැත්කමක් සිදුකිරිම සඳහා දින ලබාදී තිබූ තැනැත්තෙක් බව ද වෛද්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය.
මියගිය තැනැත්තාගේ දේහය ඥාතීන්ට බාරදීමක් සිදු නොකර කොරෝනා වෛරසය වැළඳුන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකරන නීති අනුගමනය කරමින් උඩවළව ගඟේයායේ පිහිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාරයේ දී ආදාහන කටයුතු සිදුකිරීමට නියමිතය.
මේ අතර 23දා සවස් වනවිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 703 දක්වා ඉහළ අගයක් ගත් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. එහෙත් මේ වනවිට ඉන් ප්‍රතිකාර ලබන්නේ 251දෙනෙකු පමණක් බව කී දිස්ත්‍රික්ක ලේකම්වරිය 452ක් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවද සඳහන් කරන්නීය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ. නානායක්කාර