රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත දඹුල්ලේ සිට එළවළු ගෙනවිත් බාර දීමට හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද (08දා) පැවසීය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දඹුල්ලේ එළවළු මෙහෙයුම් කාර්යාලය මගින් සිදු කෙරෙන කාර්යය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ක්‍රිස්ටි විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.
දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති ආර් . බී .හේරත් මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල මහතා ද එක් වෙමින් නව එලවලු බෙදා හැරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කරනු ලැබීය.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ එළවලු අවශ්‍ය ව්‍යාපාරිකයන් සිදුකළ යුත්තේ තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් තමන්ට අවශ්‍ය එළවළු ඇණවුම ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලබාදෙන ලෙසය.
එම ලබාදෙන ඇණවුම් එම අවස්ථාවේම විද්‍යුත් තැපෑල මගින් හා ෆැක්ස් මඟින් දඹුල්ල මෙහෙයුම් කාර්යාලයට ලැබෙන බවත් ඒ අනුව එම ඇණවුම් ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් හරහා ගොවීන්ට ලබා දී ගොවි නිෂ්පාදන ඉතා පිරිසිදුව සෞඛ්‍යාරක්ෂිතව පැය 12 ක පමණ කාලයක් ඇතුළත නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලොරි මගින් ප්‍රවාහනය කර දීම සිදු වෙන බව ය.
මෙමඟින් අතරමැදි ජාවාරම්කරුවන් ගෙන් තොර නිශ්චිත මිල ගණන් යටතේ පිරිසිදු එළවළු තොග ලබාදීම සිදුකරන බවද හෙතෙම පැවසීය.
දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනම සභාපති ආර් .බී .හේරත් මහතා කියාසිටියේ දිවයින පුරා විසිරී සිටින ගොවීන්ගෙන් අඩු මුදලට එළවළු ලබාගෙන තැන තැන විශාල මිල ගණන් යටතේ අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවය.
