අමිත් මධුරංග රටට හෙන ගහලා තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගණදෙවි හෑල්ලේ, සුභාෂිතයේ සඳහන් කවි කියමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පැවසීය.
ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් තිබුණද මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ සම්බන්ධව අවධානය යොමුනොකිරීම ගැටලු සහගත බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා,
“ජනාධිපතිවරයාගේ නිල වැඩ කරන්නැද්ද, සෛල වැඩ කරන්නැද්ද, මොළය වැඩ කරන්නැද්ද, හදවත වැඩ කරන්නැද්ද කියන ප්රශ්නය අපිට මතුවෙනවා. රෝමය ගිනිගනිද්දි නීරෝ විණා වාදනය කළාලු. රටටම හෙන ගහලා ඉවරයි. ජනාධිපතිතුමෝ දැන් ඔබ මරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක්. රටට හෙන ගහලා තියෙද්දී ඒකට තීරණ ගන්න බැහැ කියන්නකෝ, හැබැයි රාජ්‍ය නායකයා මරන්න තීරණය කරලා තිබියදී තීරණයක් ගතයුතුයි.
නමුත් ජනාධිපතිවරයා ඔබ ගණදෙවි හෑල්ලේ, බුද්ධ ගජ්ජෙ, සකස්කඩයේ, සුභාෂිතයේ කවි කිය කිය ඉන්නවා. ජනාධිපතිතුමෝ ඔබ නීරෝ නෙමෙයි. මේ රටයි මේ නැතිවෙන්නෙ. මේ රටේ අනාගතයයි මේ වැටෙන්නේ. මේ වනවිට යුරෝපා මානව හිමිකම් කොමිසම ජීනිවා නුවර රැස්වෙලා. එල්.ටී.ටී.ඊ ඩයස් පෝරාව 2009 මැයි 19න් පසුව ජාත්‍යන්තර වශයෙන් ගෙන ගිය අරගලය ටර්නනින් පොයින්ට් එකකට ඇවිත් ඊයේ පළමු වතාවට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදි ව්‍යාපාරයේ පොලිස් නිල ඇඳුම ඇඳගෙන ජිනිවා නුවර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණය කළා. මේ රටේ පාලකයෝ බලාගෙන ඉන්නවා. යහපාලනය වශයෙන් පැමිණ අවසාන වශයෙන් බෙදුම්වාදි වැඩපිළිවෙළ මේ රටේ රංගගත කර ඉවරයි. එහි අවස්ථා තමයි අපිට මේ දිස්වන්නේ “යනුවෙන් පවසා සිටියේය.