නව වසර උදා වෙන්නේ අහියෝග සමගින් බවත් එම සියලු බාධක ජයගනිමින් රටක් ලෙස එකාවන්ව නැගී සිටීමේ අභියෝගය රටට ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
අභියෝග ජයගැනීම වෙනුවෙන් දැඩි අධිෂ්ටානයෙන් යුතුව පෙරමුණ ගැනීම පාලකයන්ගේ සේම සියලු ජනතාවගේ වගකීම සහ වගවීම බවද අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.
නව අවුරුදු සුබ පැතුම් පණිවිඩය
කාලය ගෙවී යන වේගය පුදුමාකාරය. වසරක් ගතවී නව වසරක් උදා වී ඇත. ගෙවුණු වසර ශ්‍රී ලාංකිකයන් ලෙස අපට තීරණාත්මකම වසරක් විය.
කොරෝනා වසංගතය එක් පැත්තකින්ද, අනෙක් පැත්තෙන් ආණ්ඩු පාලනයේ මර්දනය, ප්රජාතන්ත්රවාදය ට, නීතියේ සාධාරණත්වය ට එල්ලවූ අභියෝග රැසක් මෙන්ම, රටේ ජාතික සම්පත් විකුණා දමමින් කටයුතු කරන අදූරදර්ශී පාලකයන් යටතේ බිමට සමතලා වී ගිය ආර්ථිකය ද සමගින් ගෙවුණු වසරක අවසානයේ උදාවුණු නව වසර සැබවින්ම සියලු ශ්‍රී ලාංකිකයන්ට අභියෝගාත්මක වසරක් වන බවට සැකයක් නැත.
රටේ දියුණුව, මානව අයිතීන්ගේ සුරක්ෂිත බව, නීතියේ සාධාරණත්වය පිළිබඳ විශ්වාසය ඇතුළු යහපාලනය මුලධර්ම සියල්ල මාධ්‍ය මගින් පෙන්වන සංදර්ශන වලට පමණක් බොහෝ විට සීමා වී තිබේ.
හෙට දවසේ රටේ අනාගතය අවිනිශ්චිතය, ස්ථිර බවක් හෝ වගකීම් සහගත බවක් නොමැති ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පවා රට ජාත්‍යන්තර වශයෙන් අභියෝගයට ලක් කර ඇත.
කඩා වැටුණු ආර්ථිකය හමුවේ කර්මාන්ත ශාලා රැසක් වැසී යමින් පවතී. මේ තුල නිර්මාණය වන විරකියාවට අප මුහුණ දිය යුතුය.රාජ්‍ය බැංකු පද්ධතිය බරපතල අභියෝගයකට මුහුණ දී ඇත.
දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී ඇත. ජනතාවගේ අදායම් මාර්ග ඇහිරී ගොස්ය. බඩු මිල අහස උසට නැඟ ඇත.
ඒ සියල්ල මැද බරපතළ ලෙස ව්‍යාප්තවන කොරෝනා වසංගතය නිසි පරිදී කළමනාකරණය කිරීමට රජය අපොහොසත් වී ඇත. එමෙන්ම ජනතාවද එහි අවධානම් සහගත බව නිසි අයුරින් අවබෝධ කරගත් බවක් පෙනෙන්නට නැත.
අපට නව වසර උදා වෙන්නේ මේ සියලු අහියෝගද සමගිනි.
කෙසේ හෝ මේ සියලු බාධක ජයගනිමින් රටක් ලෙස එකාවන්ව නැගී සිටීමේ අභියෝගය අපට තිබේ. ඒ වෙනුවෙන් දැඩි අධිෂ්ටානයෙන් යුතුව පෙරමුණ ගැනීම පාලකයන්ගේ සේම සියලු ජනතාවගේ වගකීම සහ වගවීමයි.
පටු ජාතිවාදය සහ ආගම්වාදයේ අදුරු සෙවනැලි ද මේ වන විට නැවතත් ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට පටන් ගෙන තිබේ. ඇතැම් බලවේගයන්ගේ උවමනාවද ජාතිවාදය, ආගම්වාදය වැනි කරුණු මතුකර ජනතාව අතර බෙදීම් මෙන්ම ගැටුම් ඇති කිරීමයි.බෙදී විරසක වීමේ ශාපය 30 වසරක් අප භුක්ති විඳ ඇත්තෙමු.
නැවත කිසි ලෙසකින් එවැනි තත්වයන් ඇති නොවීම සඳහා දිවිහිමියෙන් කැප වීමට ද නව වසරේ දී අප සියලු දෙනා විශේෂයෙන්ම අදිටන් කර ගත යුතුය.
එමෙන්ම රැවටිලි, මුසාබස්, රඟපෑම්, මාධ්‍ය සංදර්ශන, සහ කලින් කළට විවිධ කණ්ඩායම් සමාජය තුළට ගෙනවිත් අත හරින රැළිවලට හසු නොවී නිවහල් සහ ස්වාධීන පුරවැසියන් ලෙස සමාජය පිළිබඳ දැනුමින් සන්නද්ධ වන්නට ද මේ වසරේදී සියලු ජනතාවට ශක්තිය ලැබේවා යි ද මම ප්‍රර්ථනා කරමි.
නව වසරේ අප ගන්නා තීන්දු තීරණ අපගේ ආදරණීය මාතෘ භුමියේ උන්නතිය වෙනුවෙන් සහ රටේ සියලු ජනතාවගේත්, ගහකොළ සතා සිවුපාවුන්ගේත් යහපත වෙනුවෙන්ම ගැනීමට අප අදිටන් කර ගත යුතුමය. අප ගන්නා තීන්දු, තීරණ නැවත සිතා කනගටුවීමට සිදුවන ඒවා නොවීමට ද වග බලා ගත යුතුය.
අභියෝග වලට අභියෝග කොට ජය ගනිමුය යන හැගීමෙන් අප ශක්තිමත් විය යුතුය.
උදාවන වසර අපේ ජීවිතවල උපරිම සාර්ථකත්වය කරා යාම වෙනුවෙන් අඩිතාලම සකස් කර ගන්නා වසර බවට පත් කර ගැනීමට ද අප තරයේ සිතට ගත යුතුය යන්න මාගේ හැගීමයි.
එක්සත් ජාතික පක්ෂයේ ආදරණීය පාක්ෂිකයන්වෙනුවෙන් ද විශේෂ යමක් කීමට මා මෙය අවස්ථාවක් කරගනිමි.
එක්සත් ජාතික පක්ෂය, හැමදාමත් මේ රටට ආදරය කළ, රටට නිදහස දිනා දුන්, රට සංවර්ධනය කරා ගෙන ගිය මෙරට ඇති ප්‍රභලතම තනි දේශපාලන පක්ෂයයි.
බුදුදහමට ප්‍රමුඛතාවය දෙමින්, රටේ සියලු ජනතාවගේ ආගමික අයිතීන් සහ අගනා කම් සමානව පිළිගත් පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය යනු රටේ සියලු ජනතාවගේ එක්සත් බව පැතූ පක්ෂයයි.
මේ වන විට එහි වටිනා කමත්, වැදගත් කමත් බහුතර ජනතාවට අවබෝධ වෙමින් පවතී.
ගෙවුණු මහ මැතිවරණය සහ ජනාධිපතිවරණයේ දී අප ලද පරාජයන්ගේ වගකීම අප දැරිය යුතු.එහි තර්කයක් නැත.
නමුත් අනෙක් අතට ජන විඥාණය විකෘති කරමින් අපට එරෙහිව ගෙන ගිය මඩ, අවලාද , අභූත චෝදනා, මාධ්‍ය සංදර්ශන ද ඒ පරාජයට හේතු වූ බවද නොරහසක් බව දැන් ජනතාවට අවබෝධ වී තිබේ. සත්‍ය කිසිදා යටපත් කළ නොහැක.
එබැවින් සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්, සියලු රටවැසියන්ද සමගින් අසාධාරණයත්, අයුක්තියත්, දුෂණය, වංචාව, ප්රජාතන්ත්රවාදයට එරෙහි බලවේග සියල්ල එකවර පරාජය කිරීම සඳහා ශක්තියෙන් සහ අධිෂ්ඨානයෙන් නැගී සිටින වසරක් බවට නව වසර පත් කර ගන්නට අදිටන් කර ගත යුතුය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැකි ඉක්මනින් බිහි කිරීම වෙනුවෙන් කැපවන වසරක් බවට 2021 වසර පත් කර ගැනීම සඳහා අධිෂ්ඨාන කර ගන්නා ලෙස ද , මම සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
ආදරණිය ජනතාවට, සියලු යහපත් පැතුම් ඉටුවන , නිරෝගිමත් සුබ නව වසරක් වේවා!!! යි පතමි.
රුවන් විජයවර්ධන
නියෝජ්‍ය නායක
එක්සත් ජාතික පක්ෂය