කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට විරෝධය දක්වන පිරිස එදා හම්බන්තොට වරාය බදු දීමේදී ආණ්ඩුව හා එකතු වී එම ගිවිසුම්වලට සහාය දුන් බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවැසීය.
ඊයේ (31 දා) වරකාපොළ පොල භූමියේ පැවති දැදිගම ආසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස් වීමට එක් වෙමින් ඔහු මේ බව පැවැසීය.
“විශේෂයෙන්ම මේ දිනවල ප්‍රධානම මාතෘකාව තමයි නැගෙනහිර ජැටිය. අද ජනතා විමුක්ති පෙරමුණ කියනවා ජැටිය බේරගන්න කටයුතු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. එදා හම්බන්තොට වරාය ගැන අපි පාර්ලිමේන්තුවේ කතා කරනකොට කිසි කෙනෙක් ඒකට විරුද්ධව එක වචනයක්වත් කතා කළේ නෑ.
හම්බන්තොට විකුණන එකට එදා අපි ගිහින් උද්ඝෝෂණය කරනකොට අපේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට හිරබත් කන්න තමයි සිද්ධ වුණේ .එම නිසා මේ රටේ තියෙන සම්පත් ගැන කතා කරන්න එක්සත් ජාතික පක්ෂයටවත් ,සමගි ජන බලවේගයට වත් එහෙමත් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණට වත් ඒවාට සහයෝගය දුන්නු වෙනත් පක්ෂයකට වත් බැහැ .අපි එදා පොරොන්දු උනු ආකාරයට මේ රටේ මේ රටේ සම්පත් ආරක්ෂා කරගන්නවා.
මේ රටේ සම්පත් ආරක්ෂා කරන්න ජනාධිපතිතුමා කටයුතු කරනවා .මේක ජනතාවාදී ආණ්ඩුවක්. ජනතාවගේ අවශ්‍යතාවයට අපි ඇහුම්කන් දීල කටයුතු කරන ආණ්ඩුවක්.ඒ වගේම තමයි එදා අපි රටේ සම්පත් ටික ආරක්ෂා කරන්න කටයුතු කළා වගේම මහ බැංකුව කොල්ල කාපු වෙලාවෙත් ඊට විරුද්ධව නැඟී හිටියා. මාස පහක් වෙනවා මේ ආණ්ඩුව හදලා ජනාධිපති වරයා පත්වෙලා අවුරුද්දක් වෙනවා.නමුත් අද වෙනකල් එක අමාත්‍යවරයෙකුටවත් කිසිදු චෝදනාවක් නැහැ .යහපාලන ආණ්ඩුව මහ බැංකුව කොල්ලකෑවේ ආණ්ඩුව හදලා මාස කීපයක් ගත වෙන්නටත් කලින්.”