හිටපු මුදල් අමාත්යේ රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින කොල්ලූපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ නිවස පර්පචුවල් ටෙරේ ෂරීස් සමාගමෙන් මුදල් ගෙවා රවී කරුණානායක මහතාගේ බිරිඳ සහ දියණිය අධ්යවක්ෂණධුර දරණ සමාගමට ලබා දුන් බව බැදුම්කර කොමිසමට හෙළි කළ අනිකා විජේසූරිය මහත්මියගේ සහෝදරයාට තර්ජනය කළ බවට චෝදනා ලැබු විත්තිකාර ශනිල් නෙත්තිකුමාරට විදේශ සමුළුවකට විදේශගත වීමට කළ ඉල්ලීම විත්තිකාර ශනිල් නොත්තිකුමාර විසින් අද (02) ඉල්ලා අස්කර ගත්තේය.
මහාධිකරණයක විභාග වන නඩුවක විත්තිකරුවකුට ලංකාණ්ඩුව වෙනුවෙන් සමුළුවකට සහභාගී වීම සඳහා රජයේ වියදමින් විදේශ ගතවීමට ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීම පිළිබඳව පුදුමය පළ කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය ඊට තරයේ විරුද්ධත්වය පළ කිරීම සැලකිල්ලට ගනිමින් විත්තිකාර ශනිල් නෙත්තිකුමාර නමැත්තාට ලංකාණ්ඩුව වෙනුවෙන් විදේශ සමුළුවකට සහභාගීවීමට ඇති විශේඥ දැනුම හා වෘත්තිය නිපුණත්වය අද (02) අධිකරණයට දැනුම් දෙන්නැයි නියම කර තිබියදීය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ශනිල් නෙත්තිකුමාර නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සජිත් ජයවර්ධන මහතා විසින් අදාළ ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා ලදී.
2015 ඔක්තෝම්බර් මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ජයන්ත විජේසුරිය නමැත්තාට තර්ජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ශනිල් නෙත්තිකුමාර නමැත්තා අධිකරණයේ පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සජිත් ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා විදුලි බල අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරියකු ලෙසත් විදුලි බල අමාත්‍යංශයට අනුබද්ධිත සමාගමක අධ්යක්ෂවරයකු ලෙසත් කටයුතු කරන හෙයින් ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන ‘ලෝක බලශක්ති කොන්ග්‍රසයේ’ 24 වැනි සමුළුවට සහභාගී වීම සදහා ඔහුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඉල්ලීමක් කොට තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය ඒ අවස්ථාවේදී ඊට විරුද්ධත්වය පළ කරමින් මහාධිකරණ නඩුවක චෝදනා ලැබ සිටින අමාත්‍යංශයක නිලධාරියකු ඇත්නම් ඔහුට එරෙහිව ආයතන සංග්‍රහය යටතේ වැඩ තහනම් කොට විනය පියවර ගතයුතු බව පෙන්වා දුන් අතර එසේ තිබියදී මහාධිකරණ නඩුවක විත්තිකරුවකු අමාත්‍යංශයක නිලධාරියකු ලෙස කටයුතු කිරීම පිළිබඳ පුදුමයද පළ කළාය.
මහාධිකරණ නඩුවක විත්තිකරුවකු ලංකාණ්ඩුව නියෝජනය කරමින් විදේශ සමුළුවක් නියෝජනය කිරීම සදහා රජයේ වියදමින් විදේශ ගතකිරීමේ ඇති පුදුම සහගත බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය එවැනි විත්තිකරුවකු ලංකාණ්ඩුව වෙනුවෙන් සමුළුවක් නියෝජනය කිරීම සදහා රජයේ වියදමින් විදේශ ගතවීම සදහා ඔහුගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට අවසර නොදෙන්නැයි ඉල්ලා සිටියාය.
දෙපාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා, විත්තිකාර ශනිල් නෙත්තිකුමාර නමැත්තා ‘ලෝක බලශක්ති කොන්ග්‍රයේ’ 24 වැනි සමුළුවට සහභාගී වන්නේ කුමන පදනමක් යටතේද යන්න පිළිබඳව මෙන්ම ඔහුට ලංකාණ්ඩුව වෙනුවෙන් විදේශ සමුළුවක් නියෝජනය කිරීමට ඇති විශේඥ දැනුම හා වෘත්තිය නිපුණත්වය පිළිබඳ කරුණු අද (02) වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස විත්ති පාර්ශවයට නියම කෙරිණි.