ආණ්ඩුවේ සිටින ඇතැම් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සහ හමුදාපතිවරයාට එලව එලවා පහර දෙමින් සිටින බව විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සඳහන් කරයි.
මේ ආකාරයට පහර පිට පහර ගැසීම රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයාට අපහාස කරමින් සිටින බවත්, හමුදාපතිවරයාගේ හිසේ කෙස් නොමැති වීම පවා හිටපු හමුදාපතිවරයාට ප්‍රශ්නයක් වී තිබෙන බවත්ය.
සරත් ෆොන්සේකා මහතා හොඳ සොල්දාදුවෙකු වුවද ඔහුට විවිධ චෝදනා තිබූ බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
යුද්ධයට නිර්භයව මුහුණදුන්නත් ඔහු හමුදාව තුළ ජනප්‍රිය චරිතයක් නොවූ බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.
එහෙත් හමුදාපති මහේෂ් සේනානායක මහතා හමුදා නිලධාරීන් සමග සහෝදරත්වයෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත හොඳින් කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මීට අවුරුදු හත අටකට පෙර සිටි හමුදාපතිවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීමට වර්තමාන හමුදාපතිවරයා කටයුතු නොකිරීම විනයානුකූල හමුදාවක හමුදාපතිවරයාගේ හොඳ ලක්ෂණයක් බවද ඒ මහතා පවසා සිටියේය.
එසේ නොමැති වුවහොත් කොහේ හෝ සිටින පුද්ගලයෙකුට හමුදාපතිවරයාට වඩා ශක්තියක් පෙන්වා හමුදා කුමන්ත්‍රණ සිදුකළ හැකිවන බවද හෙතෙම කියා සිටියේය. පකිස්තානය, මියන්මාරය වැනි රටවල් සමග සලකා බැලීමේදී ලංකාවේ එවැනි දේවල් සිදු නොවන්නේ උගත්, බුද්ධිමත් ත්‍රිවිධ හමුදාවක් අපට සැමවිටම සිටින නිසා බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය. මේ ආකාරයට කටයුතු කිරීම ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට විහාල තර්ජනයක් බවද ඔහු පවසා සිටියේය.
මේ ආකාරයට පහර ගසමින් සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැදූ ආණ්ඩුවේ අගමැතිවරයාගේ නියෝග මත කැබිනට් මණ්ඩලයේ සිටින ඇතැම් ඇමතිවරුන්ම බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.