පසුගිය මාසයේදී රාජ්‍ය ආදායම රුපියල් මිලියන 50000ක් වුවත් එය රාජ්‍ය වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමටත් ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට මසකට රුපියල් මිලියන 90000ක් අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඊයේ (01දා) කැස්බෑව, මීගොඩ, මත්තේගොඩ, ජයවඩනගම, මහරගම පැවති ජනහමු අමතා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් දැක්වීය.
“කොරෝනා වසංගතයෙන් පසුව රටේ ආර්ථිකය බිඳ වැටී අප අතරමං වෙමින් සිටිනවා. අනාගතයේ දී සිදුවන්නේ කුමක්දැයි කිසිවකුටත් වටහා ගන්නට නොහැකි වී තිබෙනවා. අනාගතය ගැන විශ්වාසය බිඳ වැටීම ජනතාවට ඇති ලොකුම ප්රශ්නය යි. අනාගත අභියෝගයන්ට මුහුණදීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ.
අද අප අමාරු තත්ත්වයකට ඇද වැටී තිබෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ එනවාද නැද්ද යන කාරණය ජනතාව කල්පනා කළ යුතුයි. අපට තිබෙන විදේශ විනිමය පොහොට්ටු ආණ්ඩුව යටතේ නැත්තටම නැතිවී තිබෙනවා.
අප පාලන බලය ලබාගෙන ණය ගෙවන්නට හැකි ආර්ථිකයක් ගොඩ නැගුවා. 2018 වනවිට ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ඇති කළා. ණය ගෙවීම් ආරම්භ කළා. සංවර්ධන කටයුතු සඳහාත් මුදල් වෙන් කළා. ඒ කටයුතු කළේ අපේ ආදායමෙනුයි. පිටින් ණය ගැනීමට සිදුවූයේ පොලී ගෙවීම් වලට පමණයි.
2015 දී භාරගන්නා විට ලංකාව පැවතුනේ ණය ගෙවා ගන්නට නොහැකි තත්වයකයි. නමුත් ඒ බර ජනතාව මත පටවන්නට අප කටයුතු කළේ නැහැ. අභිමානවත් ජාතියක් ලෙස ණය ගෙවීමට අප කටයුතු කළා. ණය ගෙවන ගමන් රටේ සංවර්ධනය සහ ජනතාවට සහන දීම අප සිදුකළා.
පොහොට්ටු ආණ්ඩුව යටතේ ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. අද අපට විදේශ විනිමයක් නැහැ. මේ වසරේ දී ණය ගෙවන්නට අප මුදල් ඉතිරි කර තිබුණා. පළමු ණය වාරිකය ගෙවන්නට ඩොලර් මිලියන දහසක් අවශ්‍යයි. ඊට පසු වාරික තුන ගෙවීම සඳහා තවත් ඩොලර් මිලියන 1500 ක් අවශ්‍යයි.
මේ වසරේදී විදේශ විනිමය සතයක්වත් උපයාගෙන නැහැ. මාස තුනක් සඳහා වන අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට වත් අපිට මුදල් නැහැ. ආණ්ඩුවේ ආදායමත් ඒ ආකාරයටම කඩාවැටිලා. මා අග්‍රාමාත්‍යවරයාව සිටිය දී මසකට ආණ්ඩුවේ ආදායම රුපියල් මිලියන 150000 ක් වුණා.
ගිය මාසයේ මාසේ ආණ්ඩුවේ ආදායම වුනේ මිලියන පනස් දහසයි. රාජ්‍ය සේවක වේතන සහ විශ්‍රාම වැටුප් ගෙවීමටත් මිලියන 90000ක් අවශ්‍යයි. මැතිවරණයට පෙර කෙසේ හෝ ගෙවීම් කරන්නට ආණ්ඩුව ණය ලබා ගත්තා. සැප්තැම්බර් මාසයේ දී කෙසේ හෝ වැටුප් ගෙව්වත් ඔක්තෝම්බර් මාසය වෙනකොට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වෙනවා.
අප රටට තවදුරටත් මෙවැනි ගමනක් යා හැකිද? අඩු පඩියක් යටතේ ජීවත් වෙන්නේ කෙසේදැයි රැකියා තිබෙන අය සිතනවා. රැකියාවක් සොයා ගන්නේ කෙසේදැයි රැකියා අහිමි වූ අය සිතනවා. ලීසිං ගෙවන්නේ කෙසේදැයි ත්‍රීරෝද රථ හිමිකරුවන් ලතවෙනවා . ජනතාවගේ හිතේ තිබෙන්නේ මෙවැනි ප්‍රශ්නයි.
අනාගතය ගැන අවිනිශ්චිත හැඟීමක් ජනතාවගේ සිත් තුළ තිබෙනවා. ව්‍යාපාර කඩා වැටිලා. අද තිබෙන්නේ ජනවාරි මාසයේදී තිබූ අලෙවිය නොවේ. පදික වේදිකාවේ වෙළෙන්දාගේ සිට විශාලතම ඇඟලුම් කර්මාන්ත හිමියා දක්වා මේ ප්‍රශ්න තිබෙනවා. මේ අකාරයට ආර්ථිකය තවදුරටත් බංකොලොත් වුවහොත් තම ඇඟලුම් කර්මාන්ත ශාලා වලින් සියයට 25% ක් වත් වසා දමන්නට සිදු වනු ඇතැයි මගේ මිත්‍රයකු මා සමග පැවසුවා.
මේ තත්ත්වය නිසා ඇඟලුම් කර්මාන්තවල රැකියා කරන සේවක සේවිකාවන්ට සිදුවන්නේ කුමක්දැයි මට කනගාටුවක් ඇති වුණා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුනොත් විදේශ විනිමය සොයන්නේ කෙසේද? මේ තත්ත්වය යටතේ ඔබේ රැකියාවට ආදායමට බැංකු පොලියට සිදු වන්නේ කුමක්ද?
අප මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. ඔබේ අනාගතය එයයි. කතා කළ යුත්තේ මේ කාරණය ගැනයි. වෙනත් කාරණා ගැන කතා කිරීමෙන් පලක් නැහැ.
අද අපට අලුත් ආදායම් මාර්ග සොයා ගැනීම අසීරු වී තිබෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට අපට අවශ්‍ය මුදල් ඉක්මනින් ලබාගත යුතුයි.
ආර්ථිකය කඩා වැටී තිබූ 2001 වසරේ දී මා එලෙස මුදල් ලබා ගත්තා. 2015 වසරේ ණය උගුලෙන් රට බේරා ගැනීම සඳහාත් මුදල් සොයා ගත්තා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුවත් මුදල් සොයා ගත්තා. එලෙස කළේ රුපියල ශක්තිමත් කොට ඔබේ අතට මුදල් ලබා දීමටයි.
රැකියා නැති අයට මුදල් ලබාදීමට මෙන්ම සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහාත් අපට සැලසුම් තිබෙනවා. මෙරට දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව තරුණයන් ගේ අදහසයි. අප මෙවර අලුත් මුහුණු ඉදිරිපත් කර තිබෙනවා. එවිට ඇතැම් අය අපෙන් ඉවත් වුණා.
තරුණයන්ට යම්කිසි විශ්වාසයක් ඇති කිරීමට අපට හැකි වී තිබෙනවා. තරුණයන් ඉදිරියට පැමිණ මේ පක්ෂයත් භාරගත යුතුයි.
ඉදිරියේදී ලක්ෂ දහයකට පමණ රැකියා අහිමි වීමට නියමිතයි. ඔවුනට නැවත රැකියා ලබාදීමටත් නව ආදායම් මාර්ගය සොයා දීමටත් අපට සැලසුම් තිබෙනවා. අප කතා කරන්නේ ඒ පිළිබඳවයි. මේ ප්‍රතිපත්තියට පිටින් අප කිසිවිටෙක කතා කරන්නේ හෝ ක්‍රියා ක්‍රියාකරන්නේ නැහැ.”