හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ලබන 18 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය පාර්ලිමෙන්තු මහලේකම්වරයාට අද (16) නියම කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් තමන් ඉවත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ඉදිරිපත් කොට ඇති රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මීට පෙර කර තිබු නියෝගය දීර්ඝ කරමින් අභියාචනාධිකරණය එලෙස නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ කැදවන ලදී.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට තමන් වරදකරු කරමින් ලබා දී ඇති වසර හතරක සිර දඬුවම අහෝසි කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ ඇපෑලක් ගොනු කොට ඇති හෙයින් පාර්ලිමෙන්තු මන්ත්‍රීධුරයෙන් තමන් ඉවත් කිරීම වළකාලන රිට් ආඥාවක් පාර්ලිමෙන්තු මහලේකම්වරයාට නිකුත් කරන්නැයි රංජන් රාමනායක මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කොට ඇත.
හිටපු අමාත්‍යවරයකු මෙන්ම සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වන රංජන් රාමනායක මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමෙන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කොට ඇත.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ අධිකරණය මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම ලබන 18 වැනිදා තෙක් කල් තබන ලදී.