රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගිය 17 වැනිදා පවත්වන ලද මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කීර්තිනාමයට කැළලක් වන අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව රුපියල් බිලියනයක වන්දි මුදලක් පෞද්ගලික වන සේ ඉල්ලා එම සංගමය වෙත එන්තරවාසියක් යොමුකිරීමට ඒ මහතා තීරණය කර ඇති බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
එම ඒකකය පවසනුයේ අදාළ මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලදැයි පැවසෙන අසත්‍ය කරුණු ප්‍රචාරය කළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට එරෙහිවද එන්තරවාසි යොමුකිරීමට නියමිත බවයි.
එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෑතකදී සිදු කරන ලද ද්වේශසහගත සහ අසත්‍ය ප්‍රකාශ කෙරෙහිද අවධානය යොමුකිරීමට නියමිත බවත්, එසේම එම සංගමය කර ඇති ප්‍රකාශ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රවීන නීතිඥවරුන් පිරිසක් සමග කළ සාකච්ඡාවකින් පසු ඔවුන්ගේ උපදෙස් මත පළමුව රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර, දෙවැනුව නඩු පැවැරීමටද තීන්දු වී ඇති බවත් පැවසේ.
අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසනුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ට විරුද්ධව විවිධ ප්‍රකාශ සිදුකළ බවත්, වෛද්‍ය සංගමයේ නිල නාමයට ගරු කරමින් ඊට එරෙහිව ක්‍රියාමාර්ග නොගත් බවටත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටි බවයි.
එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිපදෙනෙකු විසින් මාධ්‍ය හමු පවත්වමින් සිදු කරන අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශ සම්බන්ධයෙන් මින් ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරයා තීරණය කර ඇතැයිද එම මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.