ශ්‍රී ලංකාවට ආනයනය සීමා කර ඇති, රුපියල් දෙකෝටි දස ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස බහාලුම් 03 බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී රේගු ආදායම් අධීක්ෂණය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28දා) අත්අඩංගුවට ගනු ලැබීය.
මිල අධික සුප්‍රසිද්ධ රූපලාවන්‍ය ආලේපන තොගයක්, කාන්තා සහ ළමා පාවහන් තොගයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. එංගලන්තයේ ලන්ඩන් සිට අඩි 20 ක් දිග බහාලුමක් තුළ ශ්‍රී ලාංකික ආනයනයකරුවන් 07 දෙනෙකුට අයත් පෙට්ටි 47 ක් තිබූ අතර, එයින් එක් ආනයනයකරුවෙකුට අයත් පෙට්ටි 09 ක් තුළ මෙම මිල අධික සුප්‍රසිද්ධ රෑපලාවන්ය ආලේපන තොගය තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම රෑපලාවන්ය ආලේපන තොගය රුපියල් ලක්ෂ 90 ක් වෙයි. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ අඩි 40 ක් දිග බහාලුම් 02 ක් තුළ ආනයනයකරුවන් 43 දෙනෙකුට අයත් පෙට්ටි 121ක් තිබී ඇති අතර, ඒවා අතරින් ආනයනයකරුවන් 07 දෙනෙකුට අයත් පෙට්ටි 14 ක් තුළ ලංකාවට ආනයනය සීමා කරන ලද කාන්තා සහ ළමා පාවහන් තොගයක් තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම පාවහන් තොගය රුපියල් ලක්ෂ 12 වටිනා බව රේගු නිලධාරීන් තක්සේරු කර තිබේ. මෙම ආනයනය සීමා කර ඇති භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන ආ මෙම ආනයනයකරුවන් 08 දෙනාට රේගු අදායම් අධීක්ෂණය අංශයේ නිලධාරීන් පැමිණ තමන් හමු වන ලෙස දැනුම් දීම් සිදු කර තිබුණ ද ඔවුන් නොපැමිණ තිබේ. ඉදිරිපත් නොවූ ආනයනයකරුවන් 08 දෙනා අත්අඩංගුවට ගැනිමට නියමිතය.