උපාධිධාරීන් පනස් දහසක් බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පනවා තිබෙන අනවශ්‍ය නීති ඉවත් කරන ලෙස ඉල්ලා අද (10දා) රැකියා විරහිත උපාධිධාරීන් කොළඹදී විරෝධතා පාගමනක් පැවැත්වීමට කටයුතු කළේය.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබූ අතර කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමන පැවැත්විය.
ඉන්පසුව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නියෝජිතයින් විසින් ජනාධිපති කාර්යාලයට සංදේශයක් භාරදීමද සිදුවූහ.
එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියෝ අවධාරණය කළේ සාමාන්‍ය පෙළ සමත් පිරිස් රජයේ රැකියා පුහුණුවට බඳවා ගැනීමේදී මාස හයක පුහුණුවක් හා මාසිකව රුපියල් විසි දෙදහස් පන්සියයක දීමනාවක් ලබාදෙන බවත්ය.
එහෙත් උපාධිධාරීන් පුහුණුවට බඳවා ගනු ලබන්නේ වසරක පුහුණුවකට යටත්ව බවත්, මාසික දීමනාව රුපියල් විසිදහසක් බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 35 සිට 45 දක්වා ඉහළ දැමූ බවට මාධ්‍ය නිවේදන නිකුත් කළත් ඒ පිළිබඳව ආණ්ඩුවේ පාර්ශ්ව අතර පරස්පර අදහස් තිබෙන බවද උන්වහන්සේ පවසා සිටියහ.
VIDEO