“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් නිල වෙබ් අඩවිය (www.cu.ac.lk) විවෘත කිරීම “ලෝක තරුණ නිපුණතා දින සැමරුම - 2021” ට සමගාමීව අද (15) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
නව තාක්ෂණය සමග, රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පුරවර විශ්වවිද්‍යාල, දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි ස්ථාපිත කෙරේ.
උසස් පෙළ විභාගයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් 80%කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වේ. ඒ අතරින් ආර්ථික හැකියාව සතු සිසුහු පෞද්ගලික හෝ විදෙස් විශ්වවිද්‍යාල සඳහා යොමු වෙති. උසස් පෙළ සමත් එහෙත් ආර්ථික ශක්තියක් නැති, කුසලතා පූර්ණ දරුවන්ට රැකියා වෙළෙඳපොළට සරිලන උපාධියක් පිරිනැමීම පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් ජනාධිපති අපේක්ෂා කරයි.
ඒ ඒ දිස්ත්රික්කයන්ට ආවේණික මෙන්ම දේශීය සහ ගෝලීය රැකියා වෙළෙඳපොළට සරිලන විෂය නිර්දේශයක් මත උපාධි පාඨමාලා සැකසීම මෙහි විශේෂත්වයයි. උපාධි පාඨමාලාව අවසානයේ දැනුමෙන් හා වෘත්තීය කුසලතාවයෙන් පිරි අනාගත පුරවැසියෙකු නිර්මාණය කෙරෙන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සඳහන් කළාය.
තරුණ විරැකියාව, 2014 වසරේ දී 4%ක් දක්වා පහතට පැමිණිය ද 2019 වන විට එය 16% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.
පවතින ගෝලීය තත්ත්වය මත තරුණ විරැකියාව 30% ක් දක්වා ඉහළ යා හැකි බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ උපාධිය තුළින් නිපුණතා පිරි තරුණයෙකු බිහි විය යුතු බව සඳහන් කළේය. තරුණ පරපුර නව තාක්ෂණය සමග මුසුව නූතනත්වය කරා ගමන් කරමින් සිටියි. මෙහිදී ලෝකය හා එක්ව හැඩගැසීම වැදගත් බවත්, අවසානයේ දී ජයගත යුත්තේ ජීවිතය මිස අඛණ්ඩව රැගෙන ආ පුරුදු නොවන බව අමාත්‍යවරයා විසින් සඳහන් කරනු ලැබිණ.