රුපියල් කෝටි හත්සියයකට අධික වටිනාකමකින් යුත් කැරට් 750 වර්ගයේ දකුණු අප්‍රිකානු දියමන්තියක් ඇතුළු මැණික් ගල් තොගයක් කොල්ලකෑ පිරිසකගෙන් අයෙකු පාදුක්ක, වටරැක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ කොල්ලකන ලද දිමයන්තියේ හා මැණික් ගල් තොගයේ ඡායාරූපය හා වීඩියෝ දර්ශන රැසක් සටහන්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි.
මහරගම, ඇරව්වල පාරේ බලපත්‍ර ලාභී මැණික් ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෙම දියමන්තිය සඳහා වසර දෙකක කාලයක සිට ගැනුම්කරුවෙකු සොයමින් සිටියදී තැරැව්කරුවෙකු මාර්ගයෙන් ඔස්ට්‍රියා ජාතිකයෙකු පසුගියදා (01දා) මහරගම එම නිවස වෙත පැමිණ තිබේ.
ඔහු එදින දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා කුඩා යන්ත්‍රයක් රැගෙනවිත් ඇති අතර, එමගින් දියමන්තිය පරීක්ෂා කිරීමෙන් සෑහීමකට පත් නොවූ විදේශිකයා වෙනත් යන්ත්‍රයක් රැගෙන තවත් දින හතරකින් පැමිණෙන බව ව්‍යාපාරිකයාට පවසා පසුගිය 05 වැනිදා දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් සිටියදී මෙම කොල්ලකෑම සිදුව ඇත.
අදාළ විදේශිකයා දියමන්තිය පරීක්ෂා කරන අවස්ථාවේ එය හිමි ව්‍යාපාරිකයා, භාෂා පරිවර්තකයෙකු, තැරැව්කරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු එම නිවසේ සිට ඇතැයි පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මඳ වේලාවක් ගතවෙද්දී පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකුට ආසන්න පිරිසක් ගිනිඅවි රැගෙන වෑන් රථයකින් එම නිවසට කඩාවැදී, එහි සිටි පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට චෝදනා කරමින් අදාළ විදේශිකයාට අත්විලංගු දමා තිබේ.
අනතුරුව එම නිවසේ සිටි පිරිසට ගිනිඅවි එල්ල කර බියවද්දා ඇති කොල්ලකරුවන් අදාළ දියමන්තිය හා එම නිවසේ තිබූ විවිධ වර්ගයේ අනෙකුත් මැණික් ගල් තොගයක්ද සමග විදේශිකයා ඔවුන් පැමිණි වෑන් රථයට නංවාගෙන පලාගොස් තිබිණි.
අනතුරුව විදේශිකයාගේ අත්විලංගු ඉවත් කර ඔහු මහරගම ප්‍රදේශයේ අත්හැර දමා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයන් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාට කරන ලද නියෝගයක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කෙරිණි.
ඒ අනුව සිදු කරන ලද වැටලීමකදී 57 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු එදින මෙම කොල්ලකෑම සඳහා පැමිණි අයෙකු බව අනාවරණය වී තිබේ.
ඩුබායිහි සැඟව සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ උපදෙස් මත මෙම කොල්ලයට ගිය බවත්, කොල්ලයෙන් අනතුරුව රැගෙන ආ දියමන්තිය ඇතුළු මැණික් ගල් තොගය ඔහු ලබාදුන් උපදෙස් මත පාර්සල් කර මරදාන ප්‍රදේශයට රැගෙන ගොස් පුද්ගලයෙකුට භාරදුන් බවත් සැකකරු පොලීසියට පවසා ඇත.
බිමල් ජයසිංහ-බණ්ඩාරගම