රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා මෙතැම්පටමයින් නැමැති රසායනික විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් , ඒවා රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙකු ද සමග කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය .
" එක්ස්ටසි " නමින් වෙළඳපොළේ අලෙවි කරන මෙම මත්ද්‍රව්‍ය පෙති 5,500 ක් පාර්සල් 06කට සකස් කර , ඒවා " සබ්වූපර් " ශබ්ද වාහිනී උපකරණයක් තුළ සඟවා බෙල්ජියමේ සිට මෙරටට එවා තිබුණි .
කොළඹ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්කරුවෙකු විසින් , මෙම ශබ්ද වාහිනි උපකරණය රැගෙන යෑමට අද (4) දින දහවල් 11.00 ට පමණ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණ සිටියදී රේගු නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළ , වරාය හෝ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මෙතැම්පටමයින් පෙති තොගය මෙය බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
මෙම අත්අඩංගුවට ගැනීම නියෝජ්‍ය රේගු අධිකාරී ලලිත රණතුංග මහතා විසින් සිදු කර තිබූ අතර , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ උපදෙස් සහ අධීක්ෂණය මත , රේගු අධ්යක්ෂ එස්.පී.එස්.පී. සේනානායක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ කේ.ආර්.එන්.බණ්ඩාර , රේගු අධිකාරී ඊ.ශිවඥානම් යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .
කටුනායක- ටි.කේ.පි කපිල