ජනාධිපති හා හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව දැනට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඉන්දීය ජාතිකයා තමාගේ නිවසට අවස්ථා දෙකකදී පැමිණ තිබුණ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (17දා) පැවසීය.
ඊට අමතරව තමාගෙ පක්ෂ කාර්යාලයටද ඔහු පැමිණ තිබුණු බවත්, එම අවස්ථාවලදී තමා නොසිටි බැවින් ඔහු මුණ නොගැසුනු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා,
“මේ ඉන්දීය ජාතිකයා අප දන්නා තොරතුරු අනුව පාපොච්චාරණය කර තිබෙනවා ඉන්දීය රෝ ඔත්තු සේවයට සම්බන්ධ බවට. මොහු අවස්ථා දෙකකදී මා සොයාගෙන මගේ නිවසට පැමිණ තිබුණා. මම නිවසේ නොසිටි බැවින් ගේට්ටුව ළඟදි ආපසු හරවා යවා තිබුණා.
නමුත් දිගටම මම එනතුරු කියමින් නිවස ඉදිරිපිට රැඳී සිට තිබුණා. ඒ වගේම අපේ කාර්යාලයට මාව හොයාගෙන ඇවිත් තියෙනවා. මා නොසිටි නිසා ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිටි අයෙකු සමග කතාකරලා නැවත ගොස් තිබෙනවා. මොහුට ලංකාවට ඉදිරිපත් කර තිබෙන නම නෙමෙයි රෝ සංවිධානය තුළ තියෙන නම.” යනුවෙන් පවසා සිටියේය.