රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව නොලැබුණු කැම්පනේ ප්‍රදේශයේ කාන්තාවගේ පොලූපහරකට ලක්වු සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අද දහවල් කොළොන්න මූලික රෝහලට ඇතුළත් කළ බව පනාමුර පොලීසිය පැවසුවේය.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැම්පනේ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී සුභාෂ් ප්‍රසන්න කඹුරුගමුව මහතායි. පහරදීම කළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීස් කණ්ඩායමක් ඊයේ පස්වරු 02.00 පමණ වනවිට ඇයගේ නිවසට ගිය බවද පනාමුර පොලීසිය පැවසුවේය.
කැම්පනේ වසමේ පුස්වැල්පිටිය විහාරස්ථානයේ දී රුපියල් පන්දහසේ දීමනාවේ ඉතිරි කොටස් බෙදා දී ආපසු එන අවස්ථාවේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා කාන්තාවගේ පොලූ පහරට ලක්ව ඇති බව ද පොලීසිය පැවසුවේය.
මෙම සැකකාර කාන්තාව පුස්වැල්පිටිය විහාරස්ථනායට ගොස් රුපියල් පන්දාහේ තමන්ට දීමනාව ඇද්දැයි විමසා තිබේ.
සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා ලේඛන පරීක්ෂාකර බලා පවසා ඇත්තේ ඇගේ නම පන්දහසේ මුදල් දීමනා ලේඛනයේ නැති බවයි. එවිට ඇය අසභ්‍ය වචනයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරියාට බැන වැදී තිබෙන බවද පොලීසිය පැවසුවේය.
තම යතුරු පැදියෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරියා ආපසු පැමිණීමේදී සැකකාර කාන්තාවගේ නිවස අසලදී ඇය මෙම පොලූ පහර එල්ලකර ඇති බවද පොලීසිය කියයි. යතුරු පැදියේ සිටිය දීම සැකකාර කාන්තාව මෙම පොලූ පහර එල්ලකර ඇති අතර තුවාලකරු කොලොන්න මුලික රෝහලට ඇතුළත් කර තිබේ.