හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම මතදී ,පෞද්ගලික බස් රථයක් , යුධ හමුදා කැබ් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් කැබ් රථයේ රියදුරු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, නින්දන ,වතුරවිල, අංක 853/1 හි , පදිංචි ගොඩගේ ලලිත් (30) හැවිරිදි ලාන්ස් කෝප්රල්වරයකු බව පොලීසිය කියයි .
මරදාන යුධ හමුදා කඳවුරට අයත් කැබ් රථයක් ,කොළඹ දෙස සිට පනාගොඩ යුද හමුදා කඳවුර දක්වා හයිලෙවල් මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබියදී නුගේගොඩ ගුවන් පාලම මත දී පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි .
මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් නුගේගොඩ ගුවන් පාලම මතදී ,තවත් බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී කොළඹ දෙස සිට මහරගම දෙසට ධාවනය වෙමින් තිබූ යුද හමුදා කැබ් රථයේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි .
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කපිතාන්වරයෙකු ඇතුළු තිදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර එහිදී කැබ් රථයේ රියදුරු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි .
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කපිතාන්වරයා වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට නියමිත බවත් ඔහුගේ සහායකයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බවත් පැවසේ .
සිද්ධිය සම්බන්ධයෙන් අනතුර සිදුකළ මහරගම -බෝපෙ (124) බස් මාර්ගයේ ධාවනය වන බස් රථයේ රියැදුරුදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිරිහාන පොලිසිය සිදු කරයි.
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න