දිනෙන් දින ඉහළ නගින බඩුමිල හමුවේ ජනතාව ජීවන අරගලයක නිරතව සිටින විටදී ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් දහසක් පොරොන්දු ඉටුකරනවා වෙනුවට රජය මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවල පොලිය පවා ගෙවීම නතර කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
ඊයේ ( 10) දින කිරිදිවැල මිල්ලතේ දී ඔහු මේ බව පැවසීය.
මෙලෙස ජනතාවට සහන ලබාදීමට නොහැකි වී ඇත්තේ රජයේ දුර්වල ආර්ථික කළමණාකරණ ය නිසා බවද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු මන්ත්‍රීවරයා ,
මේ රටට සුවිශාල වු සේවයක් කොට විශ්‍රාම ලබා සිටින මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රධානතම ආදායම වන්නේ ඔවුන්ගේ ස්ථිර තැන්පත් සදහා බැංකුවකින් ලැබෙන පොලී මුදලයි. නමුත් දැනට මාස කිහිපයක සිට මහබැංකුව එකී පොලී ප්‍රතිශතය වාණිජ බැංකුවලට ගෙවීම නතර කරලා. වාණිජ බැංකුවලට මෙසේ ලැබිය යුතු මුදල බිලියන 70ක් බවට වාර්තා වෙනවා. මේ නිසා වාණිජ බැංකුවලට එම පොලිය ගෙවීමට නොහැකි වී තිබෙනවා. බැංකු සංගමයද ප්‍රකාශ කොට තිබෙන එකී පොලිය ගෙවීම නතර කරන බවට.
වසර 30කට පසුව ලෝක වෙළදපොළ වාර්තාගත ලෙස ඉන්ධන මිල අඩුවී තිබෙනවා. එය 30% ක් ඉක්මවා ගොස් තිබෙනවා. මේ අනුව තෙල් මිලෙන් හරි අඩක් රජයට අඩුකරන්න පුළුවන් . නමුත් රජය එය වාසියට ගන්නවා. ජනතාව දුක්විදිනවා. යහපාලන රජයේ මිල සුත්‍රය තිබුණානම් මේ වනවිට තෙල් මිල රුපියල් 25කින් පමණ අඩුවෙනවා. අපි ඉල්ලා සිටින්නේ තෙල්මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙන ලෙසයි. තෙල්මිල ඉහළගියේ නම් මේ වනවිටත් රජය මිල ඉහළදමලා.
වත්මන් රජය තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින්නේ මොන හේතුවකටද කියන එක ගැටලුවක් යහපාලන රජය ජනතාවට වැඩකලේ තුනෙන් දෙකක බලයක් නැතිවයි. ඔවුන්ට ඕනෑ 19 වන ව්‍යවස්ථාව අහෝසිකොට නව ව්‍යවස්ථාවක් මගින් බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ගෙන එන්නයි.
ජනතාව කිසිම විටක මේ රජයට තුනෙන් දෙකක බලයක් ලබාදෙන්නේ නැහැ. සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් පත්කරගෙන රජයක් පිහිටුවන එක කාටවත් වලක්වන්න බැහැ. එහිදී සමගි ජනබලවේගය පක්ෂ එකම සලකුණ සජිත් ප්‍රේමදාස මහතා බවද හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
කිරිඳිවැල - උපාලි රණවිර