පවතින ඇඳිරි නීති සමයේ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඳසුරිදුගම ග්‍රාමනිලධාරී වසමේ යාල වනෝද්‍යානයට මායිම්ව පිහිටි රක්ෂිත ඉඩම් හා වනාන්තර අනවසරයෙන් අල්ලා ගැනීමට සංවිධානාත්මක පිරිස් කටයුතු කරන බව ප්‍රදේශවාසීහු පවසති. මෙම රක්ෂිත, වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඒවා බවත්, එහි අලි ඇතුන් හා වනසතුන් විශාල වශයෙන් සැරිසරණ බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.
කතරගම ප්‍රාදේශීය දේශපාලඥයකුගේ මැදිහත් වීම සංවිධානාත්මකව කණ්ඩායම් වශයෙන් මෙසේ ඉඩම් අත්පත් කර ගැනීම සිදුකරන බවද පැවසේ. ගම්වාසීන් කිසිවෙකුට මෙම ඉඩම් සඳහා හිමිකම් කීමට ඉඩ නොදී තමන්ගේ බලපුළුවන්කාරකමින් ඉඩම් අත්පත්කර ගැනීම සිදුකරන බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
වනසතුන් අලිඇතුන් සැරිසරණ මෙවැනි ඉඩම් අනවසරයෙන් අත්පත් කරගනිමින් වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන්ට, ව්‍යාපාරිකයන්ට වැඩි මිලට අලෙවි කිරීමේ කූඨ ජාවාරම් රැසක් මොවුන් මීට පෙරද සිදුකර ඇති බවට පොලීසියට වාර්තා වී තිබෙන බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
කතරගම ගම්උදාව පිහිටි භූමියට ඉදිරිපසින් ඇති යාල වනෝද්‍යානයේ රක්ෂිත මායිම් බිම් කොටස් බොහොමයක් මේ වන විට අනවසරයෙන් කැලෑ එළිපෙහෙළි කර වැට මායිම් සකස් කිරීම් සිදුකරන බව එහි ගිය රජයේ නිලධාරීන්ට දැකගත හැකි වූ බවද ප්‍රදේශවාසීහු පවසති.
කතරගම කඳසුරිදුගම ගලහිටිය පාරේ කිලෝමීටර් එකහමාරක් පමණ දුර ගිය විට වෙහෙරකෙම ප්‍රදේශයේ සිට සෙල්ලකතරගම දක්වා අක්කර 75කට වැඩි භූමි භාගයක් අනවසරයෙන් අත්පත් කර ගැනීමට පහළොස් දෙනෙකුට වැඩි කණ්ඩායමක් මේ වන විට කටයුතු කර ඇත. කෘෂි උපකරණ සහිතව ඔවුන් මේ වන විටත් එම භූමියේ රැඳී සිටින බවත්, තාවකාලික ටෙන්ට්, කොන්ක්‍රීට් කණු මත ඉදිකිරීම් සිදුකිරීමටද ඔවුන් කටයුතු කරමින් සිටින බව දැන ගන්නට තිබේ.
මේ සම්බන්ධව කතරගම විශේෂ කාර්ය බළකාය කඳවුරේ ස්ථානාධිපති එම්. පල්ලියගුරු මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම මෙලෙස අදහස් දැක්වීය.
"ඔය කියන ඉඩම් අත්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපට ක්‍රියාත්මක වීමට හැකියාවක් නැහැ. වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළොත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම අනවසර ඉඩම් අත්පත් කර ගන්නා පිරිස් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දෙන්නත් පුළුවන්."
කතරගම පොලිස් ස්ථානාධිපති එස්.යු.ඒ ලියනගම මහතාගෙන් අප කළ විමසීමකදී හෙතෙම පැවසුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවර ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවන බවයි.
තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල