‘ආවා' කල්ලියේ සාමාජිකයන් විසින් යාපනය දිස්ත්‍රික්කයේ සිදුකරණ ලද පහරදීම් හා මංකොල්ල කෑම් නැවත්වීමේ පියවරක් වශයෙන් යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කර, මාර්ග බාධක යොදා පුද්ගලයන් හා වාහන පරීක්ෂා කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ.
මේ අතර යාපනය මාණිප්පායි, චුන්නාකම් හා කෝපායි ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අධිකරණය මගහරිමින් වරෙන්තු ලබා සිටි පුද්ගලයන් හා බීමතින් රිය පැදවූවන් මෙන්ම විවිධ වැරදි සිදුකල පුද්ගලයන් ඒ අතර සිට තිබේ. මෙම සෝදිසි පරීක්ෂාවන් වෙනුවෙන් උතුරේ පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන් 500ක් පමණ යොදවා තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් මහතා කියා සිටියේ මිනිසුන්ගේ සාමයට තර්ජනයක් වන කල්ලි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළ යුතු නමුත් ඉන් සාමාන්‍ය වැසියන්ට කරදරයක් නොවිය යුතු බවයි.