කොරෝනා තුන් වන රැල්ල මෙරට ඇතිවීම වැළැක්වීමට සියලු ජනතාව දැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
නිවසින් පිටතට යන විට මුව ආවරණ පැළදීම අනිවාර්යයෙන් සිදුකරන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
අවුරුදු සැමරුම් සිදු කරන මෙම කාලසිමාවේදි රටේ ජනතාව කොවිඩ් පිළිබදව කිසිදු වගකිමක් නොමැතිව කටයුතු කරන බව පෙනි යන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරි සති තුනක කාලය තීරණාත්මක කාලසීමාවක් නිසා අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැකියා සඳහා පැමිණෙන සියලුම දෙනා මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනයකරමින් කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකළ යුතුබවද ඔහු පැවැසීය.
"විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදියන් වාර්තා වීම අනිත් කාලවලට සාපේක්ෂව අඩු මට්ටමක පවත්වාගෙන යන්න අපිට හැකියාව ලැබුණා. එය පෙරේදා (16) වන විට 357ක් ලෙස වාර්තා වුණා. ඉන් වැඩිපිරිසක් මෙරටට විදේශවල සිට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින්. ලෝකයේ විශාල වශයෙන් කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් මේවන විට වාර්තා වෙමින් තිබෙනවා.
විශේෂයෙන්ම පසුගිය සතිය පුරාවට ජනතාව ඒකරාශී වූ ස්ථානවල අපි දැක්කා බහුතරයක් සෞඛ්‍යාරක්ෂිතව හැසිරෙනවා. නමුත් එසේ නොවන සුළු පිරිසක් ඉන්න පුළුවන්. ඔබට මතක ඇති මෙරට දෙවැනි රැල්ලක් ආවේ ලංකාවේ එක් පුද්ගලයෙකුගෙන්. එය අනූදහසකට වැඩි ආසාදිතයින් පිරිසක් දක්වා ලංකාව පුරා වර්ධනය උණා. එවැනි අත්දැකීමක් අපිට තියෙනවා. විශේෂයෙන්ම විදේශ රටවල කොවිඩ් ආසාදිතයින් ඉතා වැඩි අගයක් ගන්නා අවස්ථාවක තමයි අපි මේ රටකොවිඩ් වෛරසයෙන් ආරක්ෂාකරගෙන කොවිඩ් වෛරසය පාලනය කරගෙන කටයුතු කරන්නේ.
ඊයේ සියලුම දෙනා අලුත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ රැකී රක්ෂාවලට පිටත් උණා. ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉදිරි සති දෙක තුන තීරණාත්මක කාලසීමාක් නිසා අනිවාර්යෙන්ම මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියන දේ. ඒ තුළින් යමෙක් නොදන්නා කමින් හෝ කොවිඩ් ආසාදිතයෙකු ආශ්‍රය කරලා තිබුණොත් තවත් විශාල පිරිසකට වෛරසය පැතිරී යාම වැළකෙනවා.
අලුත් අවුරුදු සමයේදී අපි විශාල වශයෙන් සීමාවන් පැනවීම සිදු කළේ නැහැ. යම් සීමාවන් පැනවීමක් සිදුකලේ එය අත්‍යවශ්‍යය කාරණයක් නිසා. ඒ සිමාවල් අභිබවා ගිහින් ඇතැමුන් ඒ නිදහස භුක්ති විඳින්න උත්සාහ කළා. මංගල සාදයන් ආදියට පනවා තිබෙන සීමාවන් තවමත් අපි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා."