2021 වසරේ ආරම්භයේ සිට නොවැම්බර් මාසයේ අවසානය දක්වා කාලය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 25,910ක් හා මරණ 19ක් වාර්තා වී තිබේ. ඉතා අවදානම් මට්ටමකට ළඟා වී ඇති ඩෙංගු ව්‍යාප්තිය මෝසම් වැසි කාලයේදී තවදුරටත් උත්සන්න වීමේ ප්රවණතාවක්ද ඇති බව වාර්තා වේ.
වාර්තා වන ඩෙංගු රෝගීන් අතරින් 30%ක් පමණ වයස අවුරුදු 5-19 අතර වයසේ දරුවන් වන බැවින් පාසල් දරුවන් රෝගයට ගොදුරු වීමේ අවදානම අවම කිරීම සඳහා වහාම ක්‍රමවේදයක් දියත් කළ යුතු බව හඳුනා ගෙන තිබේ.
ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 59ක් තුළ තිබූ ඉදිකිරීම් පරිශ්‍ර, පාසල්, වරායන්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, නිවාස යනාදි පරිශ්‍රයන්හි පසුගිය නොවැම්බර් මස සිදු කළ පරීක්ෂාවන්ට අනුව එම ස්ථානවලින් 6%-10% දක්වා සංඛ්‍යාවක ඩෙංගු මදුරු කීටයන් හමුවී ඇත.
එම ස්ථාන අතුරින් 30% - 40%ක් පමණ නොදිරන කසළ සහ 20%ක් ජලය රැස් කරන ටැංකි වීමද ඉලක්කගත විසඳුම් හඳුනාගත යුතු කරුණු බවට පත්ව තිබේ.
මේ අතර, ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු සියලුම පොදු ස්ථාන තුළ පාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව ඩෙංගුවලින් තොර පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් රාජ්‍ය සහා පෞද්ගලික අංශයේ සියලුම ස්ථානවල ඩෙංගු රෝගය වැළැක්වීමේ ක්‍රියාකාරකම් මෙහෙයවීම සඳහා එක් එක් ආයතනවලට කැපවූ පුද්ගලයෙක් නම් කිරීමට යෝජිතය.
එමෙන්ම ඩෙංගු රෝගය වැළැක්වීම වෙනුවෙන් සිදු කළ යුතු ක්‍රියාකාරකම් කිහිපයකට පමණක් සීමා නොකර, ඩෙංගු වැළැක්වීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම පිළිබඳ එහි ඇතුළත් කිරීමට යෝජනා කර ඇත.
ඉදිකිරීම් පරිශ්‍ර සඳහා ඩෙංගු මර්දනය වෙනුවෙන් අවශ්‍ය නීතිරීති හා මාර්ගෝපදේශ ගිවිසුම්වලට ඇතුළත් කිරීම හා අතහැර දැමූ ඉඩම්, ගොඩනැගිලි තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලට හා අතහැර දැමූ ධීවර බෝට්ටුවල එවැනි ස්ථාන ඇත්නම් ඒවාට අදාළව නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ.