මාදිවෙල දෙල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභීන්ගේ පවුල් සහ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 12 කට නව නිවාස ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරන ලදී.
වසර කිහිපයක් තිස්සේ අනවසරයෙන් නාගරික සංවර්ධන අධිකාරියට අයත් මාදිවෙල, දෙල්ගහවත්ත ප්‍රදේශයේ මෙම පවුල් ජීවත්ව ඇති අතර පහුගිය දිනවල ඇදහැලුණු අධික වාර්ෂාව හේතුවෙන් එක් නිවසක් විනාශයට පත්ව තිබුණි.
මෙම පවුල් සඳහා සුදුසු ස්ථානයකින් නව නිවාස ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් අතර කොලොන්නාව ”සංහිඳ සෙවණ” මහල් නිවාස සංකීර්ණයෙන් නව නිවාස ලබා දීමට පියවර ගෙන ඇත.
කොළඹ නගරයේ අඩුපහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාවට නවීන පහසුකම්වලින් සමන්විත මහල් නිවාස සංකීර්ණවලින් නිවාස ලබාදීම වෙනුවෙන් ”නාගරික පුනර්ජීවන” ව්‍යාපෘතිය මඟින් මෙම වැඩසටහන 2010 වසරේදී ක්‍රියාවට නැංවූයේ එවකට රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.
කොලොන්නාව ”සංහිඳ සෙවණ” නිවාස ව්‍යාපෘතියේ නිවාස 240 වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වැයකළ මුදල රුපියල් මිලියන 960 කි.
ඉතා සහනදායී ගෙවීමේ ක්‍රමයට මෙම නිවාස අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබා දෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ අධ්යක්ෂ බි්රගේඩියර් එස්.ඒ.ආර්. සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මෙම නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 40 ක් පමණ වන අතර එක් නිවසක් වර්ග අඩි 450 කින් සමන්විත වේ.
නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේ දී පහුගිය දා මෙම නිවාසවල 12 ට අදාළ යතුරු සහ හිමිකම් පත්‍ර ලබාදීම සිදුකෙරුණේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, එහි අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙම කොලොන්නාව සංහිඳ සෙවන නිවාස ව්‍යාපෘතිය නිවාස 240 කින් සමන්විත වන අතර අනෙක් නිවාස ද ඉදිරියේදී කොලොන්නාව ඇතුළු ප්‍රදේශවල අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන පවුල් වෙනුවෙන් ලබාදීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් අනවසර පදිංචිකරුවන්ට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට නව නිවාස ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

