මහවැලි ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති සියලු අනවසර ඉදිකිරීම් පිළිබඳ විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.
ගන්නොරුව මහවැලි ගඟ හරහා ඉදිකර ඇති එල්ලෙන පාලම අසල පවතින අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් සහ මහවැලි ගඟේ අලුතින් නිර්මාණය වී ඇති වැලි කදු කිහිපයක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අවධානය යොමු කරමිනුයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ.
මහවැලි ගඟේ අලුතින් නිර්මාණයවී ඇති වැලි කඳු හේතුවෙන් අධික වර්ෂාවක් ඇති අවස්ථාවලදී ගග පිටාර ගැලිමේ අවදානම හේතුවෙන් ගඟ දෙපස ඇති ඉදිකිරීම්වලට තර්ජනයක් එල්ල වී තිබෙනවා.
ගඟ දෙපස ඇති බොහෝ ඉදිකිරීම්වලට පරිසර වාර්තා ලබාගෙන නොමැති බවත් වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා. වැලි කඳු ඉවත් කිරීම සම්බන්ධව නිලධාරීන් කණ්ඩායමක් යොමු කර පරීක්ෂා කරන ලෙසයි අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබා දුන්නේ.