මෙරට දෙවන ජාතික රෝහල බවට මහනුවර ශික්ෂණ රෝහල පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙන බවත් නවින පහසුකම් වලින් සමන්විතව මහනුවර ශික්ෂණ රෝහල ඉතා නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කරන බව සෞඛ්‍ය හා පෝෂණ ආමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැකිමට අද (4) ගිය අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව පැවසීය.
පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් ඉදි කෙරෙන මහල් 12කින් සමන්විත ගොඩ නැගිල්ලේ වැඩ මේ වනවිට අවසන්ව තිබෙන බවත් කොළඹ ජාතික රෝහලේ ඇඳන් ප්‍රමාණයටත් වඩා වැඩි සංඛ්‍යාවක් මහනුවරට ලැබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
මහනුවර රෝහලේ කොළඹ මෙන් නොව ළමා රෝග,පිළිකා හා අක්ෂි ප්‍රතිකාර ඇතුළු සියලු ප්‍රතිකාර ඒකක එකම ස්ථානයක ස්ථාපිත කර තිබෙන බවද ඒ මහතා පැවසීය.
රෝහල් අධ්යක්ෂවරයා මුල්වී මහනුවර රෝහලට අයත් අක්කර 57ක ඉඩම් ප්‍රමාණයක් ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ පුද්ගලයින් විසින් අනවසරයෙන් අල්ලා ගෙන සිටි ඉඩම් වලින් අක්කර 12ක් මේ වනවිට නිදහස් කරගෙන තිබෙන බවත් එතුමා තමන්ගේ පෞද්ගලික දේපොළක් සේ සලකා රෝහල් අධ්යක්ෂවරයා රජයේ දේපොළ ආරක්ෂා කිරීමට කරන කැපවීම අගය කරන බවද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට මහනුවර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාද සහභාගි විය.
චමිල් රූපසිංහ