මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන (31) දින සිට ආරම්භ කිරීමට නියමිත අතර එහි මුලික පියවර ලෙස මැණික්හින්න සහ කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල වඩාත් අවදානම් ග්‍රාම නිලධාරි වසම් වල පදිංචි වයස අවුරුදු 30 ත් 60 ත් අතර සියලු දෙනා ට එන්නත්කරණය සිදු කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නිහාල් වීරසුරිය මහතා සඳහන් කළේය.
ඒ අනුව (31) දින තෝරාගත් ස්ථාන 06 කදී එන්නත්කරණ වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීමට සැලසුම් කොට ඇති අතර මැණික්හින්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පිලවල නවෝද්‍යා විද්‍යාලය, මැණික්හින්න මහා විද්‍යාලය සහ මහවත්ත මහා විද්‍යාලය යන මධ්‍යස්ථාන වලදීත්, කුණ්ඩසාලේ කොට්ඨාශයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක ජාතික පාසල, කෙන්ගල්ල මහා විද්‍යාලය සහ කෙන්ගල්ල දෙමල මහා විද්‍යාලය යන මධ්‍යස්ථාන වලදී වැඩි පිරිසකට එන්නත් ලබා දීමට සැලසුම් කොට ඇත.
මධ්‍යම පළාතේ කෝවිඩ් ආසාදිතයන් වාර්තා වීමේදී පසුගිය කාල සීමාවන් හිදී ඒ ඒ ප්‍රදේශ වලින් රෝගීන් වාර්තා වීමේ ප්රවනතාවය, නව ආසාදිතයෙකු තුලින් තවත් පුද්ගලයින් සදහා වෛරසය ව්‍යාප්තියට පවතින ඉඩකඩ සහ එන්නත් කරණය තුලින් ව්‍යාප්තිය පාලනයට දායකත්වය ආදී කරුණු සැලකිල්ලට ගෙන මෙම ප්‍රදේශ සහ කණ්ඩායම් එන්නත්කරණ වැඩසටහනට තෝරා ගෙන ඇත.
එන්නත් ලබා ගැනීමට සුදුසුකම් ලැබූ සියලු දෙනා වෙත නිවසට එන්නත ලබා ගැනීම සදහා වන තොරතුරු පත්‍රිකාවක් ලබා දෙන බවත්, එය නිවැරදිව පුරවා ,එන්නත ලබා ගැනීමට සිය කැමැත්ත පල කල ලිපියත් සහ සිය අනන්‍යතාවය ඔප්පු කිරිම සදහා ජාතික හැදුනුම්පතත් ඉදිරිපත් කළ යුතු වේ.
අද (30) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවණාගාරයේදී පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා පැවති පළාත් කෝවිඩ් පාලනය සදහා වන පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමේ දී මේ බව තීරණය වූහ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්