ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තරග කිරීමේ අයිතිය ඉල්ලා සභාපති ධුර අපේක්ෂක මොහාන් ද සිල්වා සහ උපසභාපති ධුර අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අද (14දා) අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ. ඒ නඩු අංක සීඒ/රිට්/56/2019 (CA/WRIT/56/2019) දරන අංකය යටතේය.
අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීම සම්බන්ධයෙන් 'අද'ට අදහස් දැක්වූ මොහාන් ද සිල්වා මහතා,
"අපිට සිදුවෙච්ච අසාධාරණය අපි ක්‍රීඩා ඇමතිතුමාව හමුවෙලා පැවසුවා. රවීන් සහ මම දෙදෙනාම ලිඛිතව එය දැනුම් දුන්නා. මොකද අධිකරණ ක්‍රියාමාර්ගවලට යෑමට මත්තෙන් මෙම ගැටලුව විසඳගන්න පුළුවන්ද කියලා බලන්න සහ මේ ගැන සොයලා බලලා අපිට සාධාරණයක් කරන්න කියලා අපි ඉල්ලුවා.
අපිට ඒකටත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අපි මේ වනවිට නඩු දෙක තුනක්ම දාන්න අපේක්ෂාවෙන් පසුවෙනවා. ඉන් එක නඩුවක් ඊයේ අපි අභියාචනාධිකරණයේ දමන්න පියවර ගත්තා" යැයි පවසා සිටියේය.
ලබන සඳුදා (18දා) දිනයේදී මෙම නඩුව විභාගයට ගැනීමට නියමිත බව හෙළිවන අතර, මෙම නඩුවෙන් වගඋත්තරකරුවන් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාවය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රධාන වගඋත්තරකරුවා කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ උපසභාපති ධුරය සඳහා තරග කිරීමට නියමිතව සිටි පසුව අභියාචනා කමිටුවෙන් නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ රවීන් වික්‍රමරත්න මහතාය.