ධීවර රැකියාවේ නිරතව සිටියදී අනතුරට පත්ව විනාශ වන බෝට්ටුව වෙනුවට නව බෝට්ටුවක් සඳහා වැය වන මුදලින් සියයට 50ක් සහනාධාරයක් ලෙස ලබාදීමට තීරණය කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
පසුගියදා විනාශයට පත් වූ ධීවර යාත්‍රා පිළිබඳව සහ විපතට පත් ධීවර පවුල් වෙනුවෙන් යම් සහන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව අද [ 22 ] පැවති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යතුමා සදහන් කළේ දැනට අඩි 55 බෝට්ටුවක් මිලදී ගැනීම සඳහා ලබාදෙන සියයට 50 සහනාධාරය විනාශ වන බෝට්ටු වෙනුවට නව බෝට්ටුවක් ගැනීම සඳහා ද ලබාදීමට මේ යටතේ කටයුතු කරන බවය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
“ බෝට්ටුවක් තැනීමට ලක්ෂ 150ක් පමණ වැය වෙනවා . ඒ මුදල හොයාගන්නේ ඉඩමක් විකුණලා . නැත්නම් තියෙන දේපළ උගස් කරලා . බැංකු වලට ණය වෙලා . දන්නා කියන අයගෙන් ණයට අරගෙන . ගෙදර රන් අභරණ උගසට තියලා . එහෙම කරලා ධිවර රැකියාවට යවන බෝට්ටුව මහා මුහුදේදී විනාශ වුනාම ඒ පවුලම විනාශයි .
මේ විනාශ වන බෝට්ටුවලට වන්දි ලබාගැනීමේ ගැටලු තියෙනවා . මේ නිසා ධීවරයා කබලෙන් ලිපට වැටෙනවා . පවුල් පිටින් ධිවරයින් අනාථ වෙනවා . මේ තත්ත්වය බරපතළ සමාජ ගැටලුවක් .
මේ තත්ත්වය පිළිබඳව මම ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සමඟ සාකච්ජා කළා . ඒ මුහුදේදී විනාශ වන යාත්‍රාවක් සඳහා නව යාත්‍රාවක් වෙනුවෙන් වැය වන මුදලින් සියයට 50ක් සහනාධාර මුදලක් ලෙස ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීමට . ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරලා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාගැනීමටත් තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.